Thursday, 29 July 2021

Anna Kiesenhofer

 ඔලිම්පික් රන් පදක්කම දිනූ ආචාර්ය උපාධිධාරී  ගණිතඥවරිය Anna Kiesenhofer


බයිසිකල් පැද ඔලිම්පික් රන් පදක්කම දිනූ ආචාර්ය උපාධිධාරී ගණිතඥවරිය.

ටෝකියේ ඔලිම්පික් උළෙලේ කාන්තා පාපැදි ධාවන ඉසව්වට පෙර Anna Kiesenhofer යනු කිසිවෙකු හෝ එතරම් උනන්දුවකින් කතා නොකළ ක්‍රීඩිකාවකි. නමුත් දැන් එය වෙනස් වී තිබේ.

වත්මන් ලෝක ශූරිය වන Anna van der Breggen, ඔලිම්පික් ලෝකඩ පදක්කම්ලාභිනියක වූ Elisa Longo Borghini, බ්‍රිතාන්‍යයේ Lizzie Deignan, ජර්මනියේ Lisa Brennauer සහ හිටපු ලෝක ශූරිය වන  Annemiek van Vleuten අතර හිදිමින් 2017 දී ක්‍රීඩාවට අවතීර්ණ වූ Anna නවකයෙකු ලෙසයි  සැලකුණේ.

නමුත් ඒ ගැන මඳකට හෝ නොතැවුණු Anna Kiesenhofer   පාපැදි ධාවන ඉසව්වේ ඔලිම්පික් රන් පදක්කම  ඉතිහාසයේ පළමු වරට ඔස්ට්‍රියාවට දිනා දීම සඳහා කිලෝ මීටර් 147ක් වූ ධාවන පථයේ ඔස්සේ අධික හිරු රශ්මිය හා ආර්ද්‍රතාව සමග සටන් කළා.

තමන්ගේම තරගයනබනිරත වූ  තිස් හැවිරිදි පාපැදිකාරිනිය අවසන් කිලෝ මීටර් 40ක දුර සෙසු ක්‍රීඩිකාවන්ගෙන් වෙන්ව තනිව ඉදිරියට ඇදෙමින් පැය 3 යි විනාඩි 52 යි තත්ත්පර 45කදී තරගය නිමා කිරීමට සමත් වුණා.

කෙසේ වෙතත් සෙසු ක්‍රීඩිකාවන් ඇය පෙරමුණේ ගමන් කරන බව හෝ නොදැන සිටි අතර ඒ බව වඩාත් තහවුරු වූයේ Kiesenhoferට වඩා විනාඩියයි තත්ත්පර 15කින් පසු තරගය නිමා කළ නෙදර්ලන්ත ක්‍රීඩිකා Van Vleuten විශ්වාස කළේ ජයග්‍රාහිකාව තමන් බවයි. නමුත් තමන්ට හිමි රිදී පදක්කම ගෙල පැළඳ ගැනීමට බලාපොරොත්තු සුන්වූ හිටපු ලෝක ශූරියට සිදුවුණා.Kiesenhofer ගේ ක්‍රීඩා දිවිය සාම්ප්‍රදායික නොවන විශ්මයජනක එකක්.  ඇය ක්‍රීඩා දිවිය අරඹන්නේ තුන්ප්‍රයාම සහ ද්වි ප්‍රයාම ක්‍රීඩිකාවක ලෙසයි. නමුත් වරින් වර ඇති වූ ආබාධ හේතුවෙන් ඇයට ධාවනය නතර කිරීමට සිදුවනවා. ඇය පාපැදි ධාවන ක්‍රීඩිකාවක ලෙස ඉදිරියට එන්නේ ඉන් අනතුරුවයි.

මේ සියල්ල අතරේ වඩාත්ම සුවිශේෂි කාරණය වන්නේ Anna Kiesenhofer යනු ගණිතඥවරියක වීමයි.  වියානා තාක්ෂණික විශ්ව විද්‍යාලයෙන් ගණිතය පිළිබඳ ප්‍රථම උපාධිය ලබන Kiesenhofer කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධිය ලබා ගන්නවා. කැටලෝනියාවේ පොලිටෙක්නික් විශ්ව විද්‍යාලයෙන් ඇය සිය ආචාර්ය උපාධිය ලබා ගන්නේ 2016 වසරේදී. Kiesenhofer වෘත්තියෙන් තාක්ෂණය පිළිබඳ ස්විස් ෆෙඩරල් ආයතනයේ (EPFL) පර්යේෂිකාවක් ලෙස මේ වනවිට කටයුතු කරනවා. 

ඔලිම්පික් රන් පදක්කම හිමි කර ගැනීමෙන් අනතුරුව CNN වෙත සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙන ඇය මෙසේ පවසනවා.

" ගණිතඥයෙක් සාමාන්‍යයෙන් තමන්ගේ ගැටලු තමන්ම විසඳා ගන්නවානේ. පාපැදි ධාවනයටත් මම එම ක්‍රමය යොදා ගත්තා. බොහෝ පාපැදි ක්‍රීඩකයන්ට ඔවුන්ගේ අවශ්‍යතා සපුරා දීමට විශාල පිරිසක් සිටිනවා. පුහුණුකරුවෙක් සිටිනවා. ඔවුන්ට පෝෂණවේදීන් සිටිනවා. තරගය සැලසුම් කිරීමට කෙනෙක් ඉන්නවා. මේ සියල්ල මම තනිව සිදුකරගන්නවා. "

ගණිතය පිළිබඳ ආචාර්ය උපාධිධාරිනියක වන ඔස්ට්‍රියාවේ Anna Kiesenhofer  ටෝකියෝ ඔලිම්පික් උළෙලේ පාපැදි ඉසව්වේ ඔලිම්පික් රන් පදක්කම දිනා ගැනීම CNN ප්‍රවෘත්ති සේවාව හඳුන්වා දෙනු ලැබුවේ ඔලිම්පික් ඉතිහාසය උඩු යටිකුරු කළ ජයග්‍රහණය ලෙසයි.


https://sports.ndtv.com/olympics-2020/tokyo-olympics-austrian-mathematician-anna-kiesenhofer-wins-shock-road-race-gold-2494618



5 comments:

Thappad

 කම්මුල් පහරක් නිසා දීගයක් දික්කසාදයක් දක්වා ගිය දුරක්..🤔🤔 Thappad"  එසෙත් නැත්තම් "කම්මුල් පහර" වසරෙ දුටු තවත් එක කාන්තාව ...