Wednesday, 21 October 2020

අපේ කලාව රසවිදිමු

 කෝලම් නැටුම් 



ඓතිහාසික වටිනාකමක් දරන කෝලම් නැටුම් ශ්‍රී ලංකාවේ බස්නාහිර හා නිරිතදිග වෙරළ ආසන්නයේ ප්‍රචලිත වූ කලාවකි.මෙය වූ කලී දහනව වන සියවසේ මුල්භාගයේ පටන් පැවත එන්නක් බව ඉතිහාසය සාක්ෂි දරයි.ඉපැරණි ඉතිහාසයක් ඇති බව වෙස්මුහුණුවල ඇති අලංකාරය හා නිර්මාණාත්මක ලක්ෂණ දෙස බැලීමෙන් සනාථ වේ.මේ පිළිබඳව මානව විද්‍යා පර්යේෂණ වලින් හෙළි වී ඇත.පිළිගත හැකි සාක්ෂි අල්පය.මෙලෙස පිළිතුරු රහිත සංකීර්ණ නිර්මාණයක් බවට කෝලම් නැටුම් පත්වීමට තුඩු දුන් ප්‍රධානතම හේතුව ලෙසට පෙන්වා දිය හැක්කේ එහි අන්තර්ගතය වූ විශාල ප්‍රමාණයක් චරිත හා කතාවස්තු අන්තර්ගත වූ නිසාය.ඓතිහාසික ,දේශපාලනමය ,සංස්කෘතික හා සමාජීය අත්දැකීම් හා ජනප්‍රවාද ඇසුරින් කෝලම් නැටුම් පෝෂණය වූයේ කාලයාගෙ ඇවෑමෙනි.කෝලම්වල උපත පිළිබඳව මහා සම්මත බිසවට ඇති වූ දොළදුකක් ගැන ජනප්‍රවාදයේ සඳහන් වේ.එය පහත දැක්වේ..

වෙස්මුහුණු පැළදගෙන කරන නර්තන නැරැඹීමට මහා සම්මත බිසවට ඇති වූ බලවත් ආශාව සංසිඳවීමට දැනසිටි අයෙකු නොසිටියහ.මේ නිසා දිනෙන් දින ම බිසව පීඩාවට පත් විය.බිසවගේ මෙම තත්ත්වය දුරු කිරීමට පියවර ගත් සක්දෙවිඳු දෙව්ලොව කැටයම් කලාවට  අධිපති විශ්වකර්ම දිව්‍ය පුත්‍රයා කැදවා ඒ සදහා අවශ්‍ය වෙස්මුහුණු සහ ගීතයක් මනුලොවට ගෙන එන ලෙස අණ කළේ ය.සක් දෙවිඳුගේ අණ පරිදි දිව්‍ය පුත්‍රයා විසින් සපයන ලද වෙස්මුහුණු සහ ගීත පසුදින උදෑසන රාජකීය උද්‍යානයේදී හමුවි ය.මෙම ගීත ඉගෙනීමට රජුවිසින් නිකුත් කළ අණින් පසු වෙස්මුහුණු පැළද නර්තන රඟ දක්වන ලදී.

අධික ලෙස සිත් ප්‍රබෝධයට පත් බිසවගේ දොළදුක සන්සිඳුනි.සෑම කෝලම් මඩුවකදීම බිසව වේදිකාවට පැමිණෙන්නේ එකල තිබූ ජනප්‍රවාද සිහි ගන්වමිනි.ඇය වේදිකාවට පැමිණෙන්නේ සිය දොළදුක සංසිඳුවා ගත් අයුරු පසක් කර දීමට ය.මෙමඟින් එකල ලංකාවේ යටත් විජිතවාදී පසුබිම ද පිළිබිඹු වන අතර කෝලම් මඟින් ජනප්‍රවාදයම හුවා දැක්වීම සිදු නොකෙරේ .මෙම කෝලම් නාටකවල රජුට සේවය කරන අණබෙරකරු,ලියනාරච්චි,කොස්තාපල්,සොල්දාදුවන්,රෙදි සෝදන්නන් ,දිස්ත්‍රික් ප්‍රධානියා සහ මුදලි වැනි චරිත රාජ සභාව සූදානම් කිරීමට පැමිණෙති.ඉන්පසු මහ සම්මත රජතුමා සමඟ බිසව සැපත් වේ.ඒ අවස්ථාවේ රාජ සභාව රජ කමිටුව නමින් හැදින්වේ.යුවරජ,මැති හා ඇමතිවරු ද ඊට අයත් ය.මේ ප්‍රභූන් පිනවීමට සිංහ,රාක්ෂ හා නොයෙක් දේශීය ,විදේශීය චරිත සමාජයීය කතාන්දර ,ජාතක කතා ආදිය ඉදිරිපත් කෙරෙයි.ගැබිණි ස්ත්‍රියක් තමාට සිදු වූ අකටයුත්ත බඩදරු කෝලම නම් රංගනයෙන් ඉදිරිපත් කරයි.

ගැමි කතාවෙන් ගැමි ජීවිතයේ ඇති රස තොරතුරු හා රසවතුන් පිළිබඳව පිළිබිඹු වේ.අවසාන වශයෙන් රංගනයෙන් ඉදිරිපත් කරනු ලබන ජාතක කතාවෙන් බුදුදහමට අනුකූල දැහැමි ජීවිතයක අගය වටහාදෙනු ලබයි.මේ සියලුම අංගයන්  පසුපස සමාජයට වටිනා අර්ථවත් අර්ථයක් ගැබ්ව ඇත.එයින් එදිනෙදා ජීවිතය කෙසේද යන්න ප්‍රේක්ෂකයාට ඉදිරිපත් කෙරෙයි.ඒ සමඟ ම ඉන් ඔබ්බට යන පණිවිඩ රැසක් ද එමඟින් වෙයි.ගැමි ජීවිතය හා සම්බන්ධ සියලු දෙයින් ම සමාජයේ ඇති පරිසර විරෝධතාවද හෙළිදරව් වෙයි.අණබෙර කරුගේ චරිතය තුළින් නිරූපණය කර ඇත්තේ තමාගේ බිරිඳට පහර දෙන අද සමාජයේ පවතින මෙබඳු චරිතයකි.හේවා කෝලමේ හේවාත් නිරූපණය වූයේ මිනිසුන් තලා පෙලා ඔවුන්ට කරදර හිරිහැර කරන පිරිසක් ලෙසිනි.ජස ලෙංචිනා කෝලමේ ලෙංචිනා රූමත් කාන්තාවකි.ඒ නමුත් මහළු වූ ජසයාට ඇයව විවාහ කරදෙනු ලැබේ.ජසයා රජුට සේවට කළ නිසාත් දෙමාපියන්ට තම දියණියගෙන් නිදහස්වීමට අවශ්‍ය වූ නිසාත් ය.

ජසයාගෙ මහළු බව නිසා ම ඇගේ සිතෙහි ගම්මුලාදෑනියා කෙරෙහි ලෙන්ගතුකමක් ඇතිවීම විශ්මයට කරුණක් නොවේ.මේ හැරුණු විට අසරණ ගැමි ජනතාවගේ වතුපිටි,හරකාබාන ආදී සියලුම දෙයින් අයුතු ප්‍රයෝජන ලබාගන්නා වංචනික චරිත ද කෝලම් නාටකය තුළින් නිරූපණය කෙරේ.ලක්දිව පෘතුගීසි ,ලන්දේසි ,ඉංග්‍රීසින්ට නතුව පැවති යුගයට අදාල මෙහි එන චරිත තුළින් හා දෙබස් මඟින් එය මනාව පැහැදිලි වන අතර ඉන් උපහාසයද ජනනය වේ.

ගැමි ජීවන රටාවේ දුෂ්කරතාවයන් මතකයට නංවන මෙම සිදුවීම් මහාසම්මත රජු හා බිසව ඉදිරියේ රඟ දැක්වේ.සෑම කෝලම් මඩුවකදී ම මහසම්මත රජු සංකේතවත් කිරීමට නළු කීර්ති රජු පැමිණේ.කෝලම් නර්තනයේදී එහි ඇති චරිත තුළින් සමාජයට හරවත් පණිවිඩයක් ලබාදෙනු ලැබේ.මෙහිදී,

  •   සමාජ අසාධාරණකම් විවේචනයට ලක් වේ.
  • එදා පැවති යටත් විජිතවාදී පසුබිම අප රටට බලපා ඇති අයුරු නිරූපණය කෙරේ.
  • දැහැමි දිවි පෙවතකට ජනතාව කෙසේ නැඹුරුවිය යුතු දැයි ව්‍යංගයෙන් කියවේ.

කෝලම් මඩුවක් වන්නේ දැහැමි ජීවිතයකට පදනම් වන බෞද්ධ ජාතක කතාවකි.උපහාසාත්මක නාට්‍යයක සිංහල නොවන අයෙකු දෙබස්වලින් රස විදීමට තරමක් අපහසු ද ,චරිත නිරූපණයෙන් අර්ථය වටහා ගැනීමේ අපහසුව නොවේ.

කෝලම් මඩුවක ආරම්භක ජවනිකාව ලෙසට රඟමඩලට ප්‍රවිශ්ට වන්නේ අණබෙර කෝලමයි.අණබෙර කරුවන් රඟමඩලට තම දරුවන් සමඟ පිවිසේ.ඔහු සහ දරුවෝ උපහාසාත්මක රංගනයක නිරත වෙති.මේ අතර ඔහුගේ බිරිඳ වන නොංචි අක්කා පැමිණ කරන රංගයෙන්ද උපහාසාත්මක ස්වභාවයක් ඉස්මතු වෙයි.අණබෙරකරුගේ රාජකාරිය ඉටු වූවායින් අනතුරුව ඔහු තම දරුවන් සමඟ රඟමඩලෙන් නික්ම යයි.                                                                                                                                                                                     මීලගට රඟමඩලට පිවිසෙන්නේ ආරච්චි කෝලමයි.ගමේ ආරච්චි සහ ලියනප්පු පැමිණෙන මෙම ජවනිකාව හාස්‍ය දනවන අයුරින් නිර්මාණය කරන ලද්දකි.රජුගේත් බිසවගේත් පැමිණීම වෙනුවෙන් ඔහුට පැවරී තිබූ රාජකාරිය වූයේ කොපමණ පිරිසක් පැමිණ සිටිත් දැයි විමසා බැලීමටය.ආරච්චි සමඟ පැමිණෙන  ලියනප්පු විහිලුවට හා ස්ත්‍රී පක්ෂයට ලොල් වූ අයෙකි.මෙහිදී ලියනප්පු පැමිණ සිටින පිරිස ගණන් බලන්නේ හාස්‍යය උපදවන අයුරිනි.එනම් ගැබ්ගත් ස්‍ත්‍රීන්ගේ කුසයේ සිටින දරුවන්ද සමඟිනි.රාජකීයන්ගේ පැමිණීම ආසන්න වූ බැවින් ආරච්චි පැමිණ සිටින පිරිසට සන්සුන් වන ලෙස අණකර ලියනප්පු රඟමඩලෙන් නික්ම යයි. 

නොංචි අක්කා පිළිබඳව කියැවෙන කවියක්

කොංචි එක  වරු                    නේ                                          පුංචි වයසින් පසු             වන්නේ                                          කොංචි මා විසි                         නේ                                          නොංචි අක්කා එන්න එන්     නේ

කටේ දත් වැටෙමි                      න                                          කබත් කුණු කෙළ පෙරම්         න                                          ගතත් වෙව්ලා ගෙ                    න                                           නොංචි අක්කා ඒය දුවගෙ      න

ඔවුන්ගේ විකෘති වී ගිය මුහුණ ප්‍රේක්ෂකන්ට හාස්‍යය උපදවය.මේ අතර කාරිය කරවන රාළ ඔවුන්ගේ මුහුණුවලට සිදු වූයේ කුමක්දැයි ප්‍රශ්න කරයි.එවිට බ්‍රිතාන්‍යයන් සමඟ ගම්පොල  දී සිදු වූ සටනේදී පළිහ වෙනුවට මුහුණ ඇල්ලූ බවත්,එහිදී තුවාල වූ බවත් ඔවුහු පවසති.එසේම වූ කැපුම් නිසා ඇති වූ වේදනා තුනීකර ගැනීමට බෝගම්බර වැවේ මුහුණ ඔබා ගත් බව ඔහු පවසයි.එවිට කාරිය කරවන රාළ මුහුණේ ඇති කූඩැල්ලන් පෙන්වූ විට උපහාසාත්මකව ඒ කූඩැල්ලන් බව පවසයි.පසුව මුහුණට මුහුණ බැලූ විට සියල්ලන්ටම සිදු කරුණ වැටහේ.එවිට ඔවුන් චමත්කාර ජනකව යුද්ධ කළ අයුරු රඟ දක්වා බැහැර වී යති.

මීළඟට රංග සභාවට පැමිණෙන්නේ පේඩි කෝලමයි.ජසයා තම බෑනා වන සෙබරංචි සමඟ රඟමඩලට පැමිණේ.ඔහුගේ රාජකාරිය වනුයේ පාවඩ සහ උඩුවියන්,තිරරෙදි සකස් කිරීමයි.මදින් මද උපහාසය ද එක්කරමින් රංගන ඉදිරිපත් කරන ඔහුගේ බෑනා වන සෙබරංචි ද හවුල් කර ගනී.ටික වෙලාවකින් ඔවුහු  පාවඩ ඇතිරීමට ලෙන්චිනාද කැඳවා  ගනිති.ලන්චිනා තරුණ චරිතයකි.මේ අතරතුර මේ ස්ථානයට මුදලි පැමිණෙයි.තරුණ වයසේ පසුවූ ලන්චිනා සමඟ කුළුපග වීමට අවශ්‍ය වූ මුදලි තමා සමඟ පැමිණි හෙන්චප්පු රාජකාරියක් සඳහා පිටත් කරයි.මුදලිගේ අභිලාෂය දත් හෙන්චප්පු ගිය විගසම ආපසු පැමිණේ.නැවත වරක්‍ රැගෙන ඒමට පිටත් කරවන හෙන්චප්පු ක්ෂණයකින් රඟමඩලට පැමිණ මුදලිගේ නියම චරිතය අනාවරණය කරන අටියෙන් තමා අළුත උපන් ළදරුවකු දුටු බවත් එම දරුවාට මුදලිගේ රූපයට සමාන රූපයක් ඇති බවත් පවසයි.මෙය අසා අපහසුතාවයට පත්වන මුදලි වහා මාතෘකාව වෙනතකට යොමු කරයි.

ලෙන්චිනාගේත්,ජසයාගේත් නොපහත්කම් මොනවාදැයි මුදලි විමසයි.ඇය සිය සැමියාටත් බීමත්කම,සූදුවෙහි නිරත වන බව සහ සැමවිටම නිවසින් බැහැරව කාලය ගෙවන බව පවසයි.ජසයා මෙයට පිළිතුරු සපයමින් සිය බිරිඳ උකුළු මුකුළු පුරුෂයින් බොහෝ දෙනෙකු තම වසඟයට ගත් අයුරු පවසන අතර ඉන් එක් අයෙක් හෙන්චප්පු බව පවසයි.හෙන්චප්පු විසින් ජසයාට උපක්‍රමයක් යොදා කෙසේ හෝ තම දෝශාරෝපණයෙන් ගැලවේ.මුදලිගේ අණ පරිදි හෙන්චප්පු විසින් ජසයාට පහර දෙන ලබයි.අවසානයේ මුදලි ඔවුන් දෙදෙනාට සාමයෙන් සමඟියෙන් කල් ගෙවන ලෙස උපදෙස් දී රංග පිටියෙන් පිටත්වෙයි.

විවිධ ක්ෂේත්‍රවලට සම්බන්ධ අණබෙරකරු,රෙදි සෝදන්නා,ආරච්චි,ආරක්ෂක භටයින් සහ නිළධාරීන්ගෙන් සමන්විත කණ්ඩායම් මේ තාක් දුරට ඔවුන්ට පැවරී තිබූ යුතුකම් ඉටු කරමින්‍ රාජකාරියක් පිළිගැනීම සංවිධානය කළහ.

දෙපසින් පන්දම් දෙකක් ද සේසත්,චාමර ආදියෙන්ද ගෞරව පවත්වමින්,සියලුම ආරක්ෂාව සපයමින් රජතුමාගේ බිසවත්,ඇමතිවරුනුත් සභාවට සම්ප්‍රාප්ත වෙති.කාරියකරවන රාළ ඔවුන්ට පෙරටුව ගමන් කරන අතර නර්තන නැරඹීම සඳහා ඔවුහු අසුන් ගනිති.පේස කෝළමෙන් අනතුරුව මෙසේ රජතුමාගේත්,ඇමතිවරුන්ගේත් සිත් සතන් සනසවමින් සිංහ කෝලම රඟ මඩලට පිවිසේ.මෙම නැටුම් විචිත්‍රාකාරයෙන් ඉදිරිපත් කරයි 

මින් අනතුරුව රඟ මඩලට පිවිසෙන්නේ රාක්ෂ කෝලමයි.රාක්ෂයන් පැමිණෙන්නේ වෙස්මුණි රජුගේ අනුගාමිකයන් ලෙසය.ඔවුන් ඉදිරිපත් කරන දැකුම්කළු රංගනය බියෙන් හා හාස්‍යයෙන් ද වේලී පවතී.නාගයන් සිරස වටා ආභරණ මෙන් පැළද ලෝකාධිපති හාරකුස නර්තනයේ නියලේ.පසුව නාග රාක්ෂයා ද පැමිණේ.ඔහුගේ රංගනය ද ඉතා අලංකාර ලෙස සිදුකරයි.ඉන් අනතුරුව ගුරුළු රාක්ෂ පැමිණේ.

ශරීරයම සළුවලින් ආවරණය කොට ආභරණ පැළද හිසේ ඔටුන්නක් ද සහිතව විෂකුරු නාගයෙකු තුඬඟ රදවාගෙන නර්තනය සමඟ බියකරු රසාස්වාදයක් ලබා දෙන අතර,ගුරුළු රකුසා පියඹන රාජලියෙකුට සමාන වේ.මේ ලෙස කෝලම් මඩුව පූර්ණක,රත්නකූට,නාග රාක්ෂ යනාදී රාක්ෂ කෝලම් විසිහතරකින් සමන්විත වේ.

මීළඟට ජාතක කතා පොතේ නාට්‍යාකාරයෙන් ඉස්මතු කරන්නේ රළ දැක්වීම සිරිතයි.

පන්සිය පනස් ජාතක පොතේ කාතාවලින් ඉස්මතු කරන්නේ බුදුරජාණන් වහන්සේගේ පෙර ආත්මයන් පිළිබඳ සිද්ධීන්‍ ය.උන් වහන්සේ පාරමිතා පිරූ අයුරු මේ ජාතක කතාවලින් හෙලි වේ.ධර්ම,විනය දෙකටම අනුව ජීවිතය සකස් කරගැනීම පිණිස මේ ජාතක කතා රචනා කොට ඇත.

බෝධිසත්ව චරිතයක් වන මනමේ කුමරුට තමාගේ චපල බිරිඳ නිසා දිවි අහිමි වන අයුරු ධනුද්ධර ජාතක කතාව තුළින් හෙළි කරයි.මේ ජතක කතාව කෝලම් නාට්‍යකරුවන්ගේ අවධානයට යොමු වී ඇත.එහෙත් එම පුවතේයම් යම් තැන් වෙනස් කර ඇති බවද මෙහි සඳහන් කල යුතුය.' මනමේ ' යන නම ජාතක පොතේ නැත.වැද්දන් වෙනුවට එහි සිටින්නේ හොරු කණ්ඩායමකි.

තක්ෂිලාවේ දිසාපාමොක් ඇදුරුතුමාගේ ඉගෙනුම අවසන් කර විනීත ම ශිෂ්‍යයා බවට පත්ව සිටි මනමේ කුමරු ඇදුරුතුමාගේ දියණිය සරණපාවාගෙන තම රාජධානියට යන අතරමඟ මහා වනාන්තරයකට පැමිණෙති.මේ වනයේ වැදි පිරිසක් මුණ් ගැසිණි.කුසගින්නෙන් පීඩාවට පත්ව සිටි කුමරු මස් ස්වල්පයක් ඉල්ලාගෙන ඒම පිණිස බිසව යැවීය.වැදි දෙටුවෝඇයට අමු මස් දීම ගැන කුමරු අමනාප විය.ඒ අමු මස් නැවත ඔවුන්ටම දෙන ලෙස කුමරු අණ කළේය.

අමු මස් ආපසු යැවීම ගැන වැදි දෙටු කෝපයට පත් විය.මෙසේ කෝපයට පත් දෙටුවෝමේ පැමිණිල්ල රජුට ඉදිරිපත් කළේය.මේ සිද්ධියෙන් කෝපයට පත් වැදි රජු අනවසරයෙන් තම වනය මැදින් ගමන් කිරීම පිළිබඳව මන්මේ කුමරු සමඟ බහින් බස් විය.මේ අයුරින් රජ කුමරුගේත් වැදි රජුගේත් කෝපය ද්වන්ද සටනකට මුල පිරීමක් විය.මනමේ රජු අසිපත සමඟ වැදි රජු හා පොර බැඳීමට (අමු මස් ආපසු යැවීම ගැන) අපහසු බැවින් කොපුවක් සමඟ කඩුව තම විශ්වාසවන්ත තම බිරිඳට දුණි.මේ අවස්ථාවේ කුමරියට වැදි රජ කෙරෙහි ඇල්මක් ඇතිවිය.වැදි රජු හා පොර බැඳි මන්මේ රජු ඔහු බිම පෙරළා තම බිසවගෙන් කඩුව ඉල්ලීය.එවිට ස්ත්‍රියකගේ චපල ගති ඉස්මතු කරමින් ඇය කඩුකොපුව තම සැමියාටත්,කඩුව වැදි රජුට දුන්නාය.මෙය අවස්ථාවක් කරගත් වැදි රජු ඇසිපතින් ඇණ මනමේ රජු ජීවිතක්ෂයට පත් කළේය.

ඇය පැළද සිටි ආභරණ ආරක්ෂා සහිතව ගංතෙරෙන් එගොඩ ගෙන යාමට ඉල්ලාගත් වැදි රජ එය අවස්ථාවක් කර ගනිමින් ආභරණ ගෙන කුමරිය අතරමං කර පලා යයි.වැදි රජ එසේ කිරීමට හේතුව වූයේ තම ස්වාමියා මැරීමට තරම් චපල සිත් ඇති ඇයගෙන් තමාටද එවැනිම ඉරණමකට මුහුණ පෑමට සිදුවේ යන සිතුවිල්ලෙනි.මේ අතර ඇය වනයේ තනිව විලාප නගද්දී සක්දෙවියන්,මාතලේ දෙවියන් හා විශ්ව කර්ම යන දෙවිවරුන් පිළිවෙලින්න නරියෙකු,මාළුවෙකු,උකුස්සෙකු යන සත්වයින්ගේ වෙස්ගෙන මෙතැනට පැමිණෙති.නරියා මස් කැබැල්ලක් කටේ රඳවාගෙන ඒදණ්ඩක් මඟින් ගමන් කරද්දි දියේ යන මාළුවෙකු දැක ඒදණ්ඩ මත මස් කැබැල්ල තබා මාළුවා අල්ලා ගැනීමට දියට පැන්නේය.එවිට මස් කැබැල්ල උකුස්සෙකු පැහැරගෙන ගිය අතර නරියට දෙකම නැතිවී කුසගින්නේ සිටීමට සිදුවීම දුටු මනමේ බිසව නරියාට අපහාස කළේය.එවිට පිළිතුරු දුන්නේ " බිසව,ඔබ මට උපදෙස් දෙන්නේ ඔබ ගැන ඔබ සිතා බලන්න " යැයි උපහාසයට ලක් කරවමිනි.

අප දෙදෙනාගෙන් වඩා මෝඩ කුමරිය යැයි පැවසීය.කුමරියට පසක් වූයේ එවිටය.ජාතකයෙන් අනතුරුව ගරායකා පැමිණ එහි සියල්ලන්ටම ඇස්වහා,කටවහා වලින් සිදුවිය හැකි උපද්‍රවයන් දුරු කර කෝලම් මඩුව නිමාවට පත් කරවයි.         


සටහන:-ශෂිනි දිල්හාරා                                           

                      






22 comments:

  1. වැදගත් ලිපියක්,ඉදිරියටත් ලියන්න,Goodluck 🖤🤟

    ReplyDelete
  2. හොඳ ලිපියක්. කතා පරණ උනත් රසවත්..

    ReplyDelete
  3. ඒක ගොඩක් වැදගත්.... නියමයි ශශී💖😇

    ReplyDelete

Thappad

 කම්මුල් පහරක් නිසා දීගයක් දික්කසාදයක් දක්වා ගිය දුරක්..🤔🤔 Thappad"  එසෙත් නැත්තම් "කම්මුල් පහර" වසරෙ දුටු තවත් එක කාන්තාව ...