Sunday, 11 October 2020

අපේ ම දෑතින් හැඩවෙන වෙස්මුහුණ

මා ඔබට කලින් දවසෙ ගෙන ආවේ අපේ වෙස්මුහුණු සම්ප්‍රදාය ගැන සහ මෙරට භාවිත කරන වෙස්මුහුණු පිළිබඳවයි .මා එදා ප්‍රකාශ කළා වෙස්මුහුණු ගැන තවත් තොරතුරු බොහොමයක් තියනවා කියලා..ඉතින් අපි අද ඒ පිළිබඳව කතා කරමු. අපි දකින වෙස්මුහුණු හැඩවෙන්නෙ කොහොමද කියලා තමයි අද මේ ලිපිය ඔබවෙත ඉදිරිපත් කරන්නෙ .(ඡායාරූප උපුටා ගැනීම අන්තර්ජාලයෙන් )

වෙස්මුහුණු  කලා කර්මාන්තය ශ්‍රී ලංකාවේ පහතරට ප්‍රදේශයේ දැකිය හැකි ය.පහතරට ප්‍රදේශයේ මිරිස්ස,අම්බලන්ගොඩ ,බෙන්තර ආදී ප්‍රදේශවල වඩාත් ප්‍රචලිත ය.මේ අතරින් අම්බලන්ගොඩ වෙස්මුහුණු සඳහා ඉතාමත් ප්‍රසිද්ධ නගරයක් ලෙස හැදින්විය හැකියි.විදේශීය සංචාරකයන් අතර ද මෙම ප්‍රදේශය ඉතාමත් ජනප්‍රිය වී තිබේ.විවිධ අලංකාර වූ වර්ණවලින් හැඩගැන්වෙන වෙස්මුහුණ විදේශිකයන් අලෙවිය සඳහා ඇද බැද ගැනීමට සමත් විය.වෙස්මුහුණු වර්ණ කිරීමට බොහෝවිට යොදාගනු ලබන්නේ ස්වභාවික වර්ණයන් ය.වෙස්මුහුණු නිර්මාණය කිරීම ඉතාම සංකීර්ණ කාර්යයක් වේ.වෙස්මුහුණු කැපීමේදී බොහෝ දුරට කදුරු ලීය උපයෝගි කරගන්නා අතර මෙම ලීය ඉතා සැහැල්ලු මෙන් ම කැටයම් කිරීමට පහසු ලීයකි.එකල කලාකරුවන් වෙස්මුහුණු කැපීම සඳහා පාවිච්චි කළ ආයුධ වැඩි වශයෙන් වෙනස් වී නැත.නමුත් දැනට පාවිච්චි කරන ඒවා ඊට වඩා තත්ත්වයෙන් උසස් ය.

එකල වෙස්මුහුණු කැපීමට භාවිත කළ ආයුධ

  • දඩු අඬුව
  • බංඩි කියත ,හරස් කියත,අත් කියත,දුනු කියත
  • අත් පොරොව
  • එක් එක් ප්‍රමාණයේ පැති නියන්,බොකු නියන්
  • අත්කොළුව
  • වතුර ගල,තෙල් ගල 
මැනීමේ උපකරණ 

  • කෝදුව
  • කවකටුව
  • මට්ටම් ලෑල්ල 
  • ලඹය
වෙස්මුහුණු මැදීමට අවශ්‍ය කළ දේවල්

  • මත්ස්‍යයින්ගේ හම්
  • දෙල් සවරම්
  • මොට දැලියා 
සායම් කිරීමට භාවිත කළ දේවල්

  • වැටකෙයියා මුල් සහ සත්ව කෙඳිවලින් සාදාගන්නා ලද පින්සල්

ස්වාභාවික සායම් වර්ග

  • අල්ලියාදු
  • පාෂාණ වර්ග
  • ගස්වල පොතු,කොළ,මල් ආදිය
සායම් දියකිරීමට භාවිතා කළ දේවල්

  • දොරණ තෙල් 
  • හල් දුම්මල
වෙස්මුහුණු තැනීම සඳහා කදුරු ලීය සහ රුක් අත්තන ලී භාවිත කරනු ලබයි .කල් පැවැත්ම අතින් වෙස්මුහුණු සෑදීමට වඩාත් සුදුසු වන්නේ,වෙල් කදුරු ය.එවැනි ලී වලින් නිම වූ වෙස්මුහුණ බර අඩු නිසා මෙය පැළද නර්තනයේ යෙදීම පහසු වේ.එසේම වෙස්මුහුණ සාදන්නේ මෙම කලාව පිළිබද දැනුමක් ඇති පුද්ගලයන් ය.නාට්‍ය වල හැගීම්,භාව වලට අනුව ඔවුන් වෙස්මුහුණු නිර්මාණය කරයි.එසේම තවත් විශේෂ කරුණක් වන්නෙ මෙම ශිල්පීන් වෙස්මුහුණු නිර්මාණය කිරීමට බොහෝ සේ ජ්‍යෝතිෂ්‍ය විස්වාස කරයි.ඔවුන්ගේ දෑතින් නිර්මාණය වන මෙම වෙස්මුහුණුවල කල්පැවැත්මට එම විශ්වාස ,චාරිත්‍ර  ඉවහල්වන බව ඔවුන්ගේ විශ්වාසයයි .

වෙස්මුහුණු නිර්මාණය කිරීමේදී මුලින්ම සිදු කරන්නේ  අවශ්‍ය ගස කපා ගැනීමයි.මෙය සිදුකරනු ලබන්නේ ද චාරිත්‍රයකට අනුකූලවයි.අවපක්ෂයේ 3,4,5 යන තිථිවලින් එක් තිථියකට ගසක් කපා ගැනීම සිදුකරන අතර එම ගස බිම දමන්නේ දකුණු දිශාවට ය.අපේ සම්ප්‍රදායේ ' දකුණු ' දිශාව සුබ ලකුණක් ලෙස සලකයි.ඒ අනුව මෙහි මුල් ම චාරිත්‍රයේදී ද එය යොදාගන්නේ එනිසාවෙන් බව මට සිතෙන කරුණකි.ගස කැපීමෙන් දින දෙකක් ,තුනක් පමණ ගිය පසු වෙස්මුහුණ කැපීමට අවශ්‍ය ප්‍රමාණයට ලී කොටය කපාගෙන කොට කෑල්ල මට්ටම් කරගනී.ඊට පසු පුර පක්ෂයේ පස්වන තිථියට කලින් සිද්ධි යෝගයකින් හෝ අමෘත යෝගයකින් බදාදා ,බ්‍රහස්පතින්දා හෝ සිකුරාදා දිනක ශුභ හෝරාවකින් ලී කොටයේ ඇස්ස කපා ඉවත් කර කොට කැබැල්ල ඔපමට්ටම් කර ගනී.මෙසේ සකස් කරගන්නා ලී කොටය තමන් නිර්මාණය කිරීමට සූදානම් වන මුහුණේ සැකිල්ල අගුරුවලින් සටහන් කරනු ලැබේ.එසේ මුහුණේ සැකිල්ල ලකුණු කර ගැනීමෙන් අනතුරුව ලීය ඉතා හොදින් පදම් කර ගැනීමට දුමේ දමා දුම් ගස්සවා ගනී.අනතුරුව මඩු හෝ තලපත් රළු සමකින් මැද,පසුව කොට කිඹුලා,මොට දැලියා වැනි බූව සහිත කොළවලින් හෝ දෙල් සවරම්වලින් හොදින් මැදගනු ලැබේ.වර්තමානයේ වැලි කඩදාසිවලින් මැද ගනු ලබයි .වෙස්මුහුණේ මතුපිට සම්පූර්ණයෙන් ම සුදු මකුළු තට්ටියක් තවරා ගනී.මෙය 'අල්ලියාදු කිරීම'නමින් හදුන්වයි.විශාල වූ වෙස්මුහුණු වල රැවුල්,දත්,කන් ආදි විවිධ අංග වෙන වෙනම ලී වලින් කපා සවිකිරීම සිදුකරයි.ඉන් පසු කහපාට තවරා දොරණතෙල් වැඩිපුර යොදාගනිමින් ඉතා සියුම් රතු රේඛාවලින් නැවතත් දොරණ තෙල් ඉටි සමඟ උණුකර සාදාගත් වලිත්තිය සහ හල්දුම්මල වලිත්තිය ද යොදා වෙස්මුහුණේ අලංකාර කටයුතු නිමා කර ගනී.වෙස්මුහුණේ සැරසිලි සඳහා මේ ශිල්පීන් විසින් සාම්ප්‍රදායික මෝස්තර යොදාගනී.ඒ අනුව ලිය වැල,ගිනිදැල්ල,කතිරමල,කුන්දිරික්කන්,පලාපෙති මල් මෝස්තර බහුලව යොදාගනී.වර්තමානයේ නව මෝස්තරවර්ග යොදගනිමින් වෙස්මුහුණේ අලංකාරය තව තවත් වැඩි කරයි.වර්ණ කිරීම සඳහා වැටකෙයියා මුල් සහ සත්ව කෙඳිවලින් පින්සල් නිමවාගත් අතර පැරණි සිතුවම් ඇදීම සඳහා භාවිත කළ ස්වාභාවික අමුද්‍රව්‍යවලින් තනාගත් වර්ණ ගත් අතර රතු,කහ,කළු වැනි වර්ණ වැඩි වශයෙන් යොදාගනී.වෙස්මුහුණු වල දත් සඳහා බෙලිකටු සහ ඇස් සඳහා වීදුරු කැබලි ද ,ඇස්බැමි සඳහා වඳුරු සම් ද,හිසකෙස් සඳහා වර්ණ කරන ලද නියඳ කොළ,වැටකේ මුල් වැනි දෑ යොදා ගනී. වෙස්මුහුණකින්  නිරූපණය වන චරිතය එම වෙස්මුහුණ තුළින් ප්‍රතිනිර්මාණය වීම අත්‍යවශ්‍ය දෙයකි.එවැනි නිර්මාණයක් කිරීමට ශිල්පියෙකුට හොද පලපුරුද්දක් මෙන්ම දීර්ඝ කාලයක් අවශ්‍ය වේ.මේ නිසා වර්තමානයේ වෙස්මුහුණු බිහිවීමේ අඩුබවක් දැකගත හැකිය.

වෙස්මුහුණු වර්ණ ගැන්වීම

සාදාගන්නා ලද වෙස්මුහුණේ වර්ණ ගැන්වීමද සිදු කරනු ලබන්නේ චාරිත්‍රයකට අනුවය.වෙස්මුහුණු නිර්මාණය කර වර්ණගන්වන පුද්ගලයා 'සිත්තරේ' ලෙස හදුන්වයි .පළමුවෙන් ම වෙස්මුහුණේ ගල්වන වර්ණය ' අල්ලියාදු'ලෙස හදුන්වනු ලැබේ.එය සකස් කරනු ලබන්නේ කිරිමැටි හෝ මකුලවලින් පෙරා ගැනීමෙනි.වෙස්මුහුණ වර්ණ ගැන්වීම සඳහා අතීතයේ යොදාගත්තේ ස්වාභාවික වර්ණයන් ය.ඔපදමන ලද වෙස්මුහුණේ මූලික වර්ණය ලෙස කහ පැහැය ආලේප කරනු ලබයි.ඉන්පසු පූර්ණ වර්ණය ආලේප කරනු ලබයි.කහ පැහැය සාදා ගැනීමට හිරිගල් ද,රතු වර්ණය සඳහා සාදලිංගම් ද ,කොල පැහැය හා දම් පැහැය සාදා ගැනීමට ගස්වල කොළඅතු ද යොදා ගන්නා ලදී.දොරණ තෙල් උණුකර දුම්මල සමඟ මිශ්‍රකර ආලේප කිරීමෙන් වෙස්මුහුණේ දිස්නයට සේම ගල්වන වර්ණවල ආරක්ෂාව සඳහා ද යොදාගනී.මෙහිදී මුහුණේ වූ රේඛාවන් ඇඳීමට දොරණ තෙල් වැඩිපුර යෙදූ තුනී වලිච්චියක් සාදාගනු ලබන අතර,දොරණ තෙල් හා හල්දුම්මල සමව යොදා සාදාගත් වලිච්චිය සායම් ආලේප කිරීමට ද එහි වර්ණයන්ගේ ආරක්ශාවට හල්දුම්මල වැඩිපුර යෙදූ ඝන වලිච්චියක් ද යොදා ගනු ලබයි.වෙස්මුහුණේ වර්ණ ගැන්වීමේදි චරිතයේ ස්වභාවය ,ස්ත්‍රී පුරුෂ භාවය,දේහ ලක්ෂණ ආදී කරුණු කෙරෙහි සැලකිලිමත් වේ.දේව චරිත හා ආධ්‍යාත්මක වශයෙන් ඉහළ චරිත නිරූපණය කරන වෙස්මුහුණුවලට ලා රතු,තැඹිලි ,කහ,සුදු වැනි පාට ගෞරව වර්ණ ලෙස භාවිත කරනු ලබයි.එසේම අලුතෙන් ම නිර්මාණය කරන ලද වෙස්මුහුණු පළදින විට එහි වස්දොස් යෑම සඳහා පිරිත් පැන් ඉසීම සිදුකරනු ලබයි.මෙය අපගේ සංස්කෘතියේ සුබ කටයුත්තකදී සිදු කරන චාරිත්‍ර විදියක් ලෙස සඳහන් කල හැකියි.

මේ ආකාරයට නිර්මාණය වන අපේ වෙස්මුහුණු කලාව ඉහළ පිළිගැනීමකට ලක් වී තිබේ.මිරිස්සේ ශ්‍රී සුනන්දාරාමයේ වෙස්මුහුණු එකතුවක් ඇත.පොල්වත්තේ එම්.එච්.ගුරුන්නාන්සේගේ වෙස්මුහුණු එකතුව එතුමාගෙන් පසුව ඔහුගේ පවුලේ අය සතුව පවතී.වෙස්මුහුණු කැපීම අපේ පැරැන්ණෝ අතින් සිදුවූයේ හුදෙක් නියනේ හා අතකොළුවේ හරඹයක් ලෙසින් නොව,අප ජීවත්වන පරිසරයේ සංස්කෘතික රටාවට ආවේණික ගැඹුරු දර්ශනයක පිහිටීමෙන් ලද අත්දැකීම් ලෙසිනි.මෙම සංස්කෘතික උරුමය නිසා අපේ රටට විශාල වශයෙන් ආර්ථික වටිනාකමක් ලැබී ඇත.එය බටහිර රටවල ඉතා දුර්ලභ අත්කම් භාණ්ඩයක් ලෙස වෙළදපොලේ ප්‍රසිද්ධියක් ලබා ඇති බැවින් එමඟින් අප රටට වැඩි විදේශ විනිමයක් ලබා ගැනීමට හැකි වී තිබේ.වෙස්මුහුණු නිර්මාණය කිරීමට සහභාගීවන්නන් ද සැලකිය යුතු ජාතික සම්පත් බව අප තේරුම් ගත් යුතු ය.

මෙම කර්මාන්තය අදවන විට විශාල ගැටලු රාශියකට මුහුණ පා ඇත.මෙය සංකීර්ණ තත්ත්වයකි.මේ සඳහා යොදාගන්නා අමුද්‍රව්‍ය ලබා ගැනීමට ඇති දුශ්කරතාවයන් විශේෂයෙන් බලපා තිබේ.එනම් වෙස්මුහුණු නිර්මාණයට කදුරු ලී පමණක් යොදාගන්නා අතර එම ගස සොයාගැනීම මේ වන විට අසීරු වී ඇත.මේ නිසා නිෂ්පාදකයන්ට බොහෝ ගැටළු හා අපහසුතාවලට මුහුණ දීමට සිදු වී ඇත.එසේම වෙස්මුහුණු වර්ණ කිරීමට යොදාගන්න වර්ණ හා අනෙකුත් ආලේපනවල මිල අධික වී තිබීම නිසා එම ගැටලුවද අදවන විට මෙම කර්මාන්තය සඳහා බලපා ඇත.වාණිජ ආර්ථිකයේ රැල්ලට හසු වූ අපගේ වටිනා කලාත්මක නිර්මාණවල වටිනාකම ,අනන්‍යතාවය හා ගුණාත්මක භාවය රැක ගැනීමට අසීරු වී ඇති මෙම අවස්ථාවේ වෙස්මුහුණු වැනි නිර්මාණ අප සතු ජාතික දායාදයක් වන අතර අපගේ ජාතික අනන්‍යතාව හා සංස්කෘතික උරුමයන් සංකේතවත් කරන ප්‍රධාන සාධකයක් ලෙස පෙන්වා දිය හැකිය.

 තවත් දවසක හමුවෙමු ...


-ශෂිනි දිල්හාරා-


49 comments:

  1. නියමයි.. ශශී💖😊

    ReplyDelete
  2. Super...Keep it up sashi❤❤

    ReplyDelete
  3. තොරතුරු එක්රැස් කිරීම පිලිබඳව සතුටු වෙනවා, නමූත් මම කැමතියි ඔබගේ ඊළග බ්ලොග් සටහන, දේශීය වැඩිය කතා බහ නොකරන කර්මාන්ත පිළිබඳව සටහන් තබනවවාට, උදා:- කොහු ලණු, වැසි ගිය සීනි කර්මාන්ත, දේශීය ගොවිතැන සහ මිල , කුඩා ව්‍යාපාර සංවර්ධන

    ReplyDelete
  4. Valuble information,keep writing best of luck der.🙂❤

    ReplyDelete
  5. වටිනවා... 💪💪💪

    ReplyDelete
  6. නියමයි❤️❤️

    ReplyDelete
  7. නියමයි 😎❤️

    ReplyDelete
  8. සුපිරී 🖤✌️

    ReplyDelete

Thappad

 කම්මුල් පහරක් නිසා දීගයක් දික්කසාදයක් දක්වා ගිය දුරක්..🤔🤔 Thappad"  එසෙත් නැත්තම් "කම්මුල් පහර" වසරෙ දුටු තවත් එක කාන්තාව ...