Saturday, 29 May 2021

නුවර කැලඹූ වැස්ස

1921.05.12 දළදා වැස්ස හෙවත් දළදා වතුර

මේ කාල වකවානුව වන විට ලංකාව පාලනය කලේ බ්‍රිතාන්‍ය  ජාතිකයන් ය. මෙහි සිටි අාණ්ඩුකාරයා වූයේ චාමස් මහතාය. ඔහු ඒ දිනවල නැවතී සිටියේ මහනුවර ක්වීන්ස් හෝටලයේය.

එදා වෙසක් පෝ දිනයකි. බෞද්ධ ජනතාව එක දිගට දළදා හිමියන් වඳින්නට යන බව චාමස් උඩුමහලේ සිට දැක්කේය. බෞද්ධ ජනතාව තුළ ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ පිළිබඳ මෙබඳු භක්තිමත් ගෞරවයක් පැවතීම ගැන ආණ්ඩුකාරයාට ඉවසිය නොහැකිවිය. ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ කෙරෙහි ඔහු තුළ කෝපයක් සහ වෛරයක් ඇතිවිය. වහාම කම්මල්කරුවෙකු කිණිහිරක් සහ කුළුගෙඩියක් සොයාගෙන එන ලෙස ආණ්ඩුකාරයා සිය නිලධාරීන්ට නියෝග කළේය. කම්මල්කරු සහ එම ද්‍රව්‍ය ගෙන ඒමෙන් පසු ශ්‍රී දළදා වහන්සේ මහනුවර මද්දුම බණ්ඩාර උයනට ගෙන එන ලෙස නියෝග කෙරිණි.

ටික වේලාවකින් ආණ්ඩුකාරයා සිතූ පරිද්දෙන්ම සියල්ල සිදුවී තිබිණි. කිණිහිරිය - කුළුගෙඩිය සහ කම්මල්කරු මද්දුම බණ්ඩාර උයනේ එක්තැනක රඳවා මාලිගාවෙන් පිටතට ගත් දළදා වහන්සේ කිණිහිරිය මත තැබීමට අාණ්ඩුකාරයා නියම කෙරිණි.

සිදුවන්ට යන දෙය ගැන ඉවෙන් මෙන් දැනගත් ශ්‍රී දළදා හිමියන් වැඳපුදා ගන්නට ගිය බෞද්ධයෝ කඳුළු සලමින් බලා සිටියහ. අදට වයස 104 ක් සපුරා සිටින මොරගොල්ලේ රං එතනාද ඒ පිරිස අතර වූහ.

ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ කිණිහිරිය මත තබා කුළු ගෙඩියෙන් ගසා කුඩු කර දමන ලෙස ආණ්ඩුකාරයා කම්මල්කරුට නියෝග කෙරිණි. රාජ නියෝගය බුද්ධ නියෝගයට වඩා ලොකුය. කම්මල්කරු දළදා හිමියන් කිණිහිරිය මැද තබා කුළු ගෙඩිය ඔසවා වැරෙන් පහරක් පහළට පාත් කළේය. නමුත් කුළු ගෙඩිය ළංවන විට ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ එතැන නොවීය. “අනේ සාදු... අනේ සාදු...” කවුරුත් හඬ නගන්නට වූහ.

ආණ්ඩුකාරයාට යකා නැග්ගේය. අඩියට දෙකට පැමිණ කම්මල්කරුගේ බෙල්ලෙන් අල්ලාගෙන කෝ තොපේ බුද්ධා හොයාපිය.. ඉක්මනට හොයාපිය. නැත්නම් තොටත් මරණය පරසුද්දා ගෝලු ගාන්නට විය. සුද්දාද ඔහුගේ නිලධාරීන්ද සමග දන්ත ධාතුන් වහන්සේ සෙවීය. කොතනකවත් පෙනෙන්නට නොවීය. කුඩුවී ඇත්දැයි කිණිහිරිය අතගා බැලූ නමුත් කිණිහිරියේ එවැනි කිසිදු ලකුණක් නොවීය.

කෝ තොපේ බුද්ධා හොයාපියව්.... නැත්නම් තොපි ඔක්කොම මරනවා සුද්දා දැඩි කෝපයෙන් තර්ජනය කරන්නට විය. මොහොතකට වඩා ගත වූයේ නැත. මොරසූරන වැස්ස පටන් ගත්තේය. දොඹ ගෙඩි තරම් ලොකු වැහි පොද හිටි හැටියේ කඩා වැටෙන්නට විය. වැස්ස නවතීවි යන බලා​පොරොත්තුවෙන් ටික වෙලාවක් සිටි නමුත් වැස්ස නැවතුණේම නැත. සුද්දා සහ ඔහුගේ සහචරයෝ තෙමි තෙමීම කුවින්ස් හෝටලයට දුව ගියහ.

එසේ පටන්ගත් වැස්ස නැවතුණේම නැත. රැස්ව සිටි බෞද්ධ ජනතාවද තෙමි තෙමී යාබද කඩපිල් ආදියට දිව ගියහ. වැස්ස නොනැවතීම වහින්නේය. එදා දවස පමණක් නොව එදා රාත්‍රිය පමණක් නොව ඊළඟ දවසේ පමණක් නොව එක දිගට නොනැවතීම වහින්නට විය. මුළු මහනුවරම වැවක් මෙනි. ශ්‍රී වික්‍රමරාජසිංහ රජු විසින් ඉදිකරන ලද නුවර වැව බැමි පුපුරා කඩාගෙන යන්නට ඔන්න මෙන්න කියා තිබිණි.

ආණ්ඩුකාරයා කලබල විය. එහේ මෙහේ දුවන්නට විය. කරගත හැකි කිසිවක්ම නැත. වැව පුපුරා ගියොත් කුවින්ස් හෝටලයද ඉවර වේ. අාණ්ඩුකාරයා වහාම සිය සහචරයන් කැඳවීය. දැන් දැන් මේ දැන් ගිහින් කියාපියව් අහල පහළ ඉන්න බෞද්ධයන් යයි කියන උන්ට මාව දැන් හම්බවෙන්න කියලා කියාපියව්. දුව පියව් ආණ්ඩුකාරයා අණ කළේය.

ටික වේලාවකින් වැස්සේ තෙමීගෙන අහළ පහළ බෞද්ධයෝ ටික දෙනෙක් පැමිණියහ. පරයි දැන් පලයව් දැන්ම පලයව් තොපේ බුද්ධා නැතුව මේ පැත්තට එන්න එපා. තොපි ඔක්කොම මරල දානවා. දැන් පලයව්. ආණ්ඩුකාරයා පැමිණ සිටි බෞද්ධයන්ට අණ කළේය.

බෞද්ධයෝ ශ්‍රී දළදා මැදුර අවට සහ මද්දුම බණ්ඩාර උයනේ තණකොළ ගහක් නෑර ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ සොයා බලන්නට වූහ. එහි සිටි වියපත් බෞද්ධයන් දෙතුන් දෙනෙකු ශ්‍රී දළදා වහන්සේ වැඩසිටි කුටියට බියෙන් බියෙන් ඇතුළුවී උන්වහන්සේ වැඩ සිටි තැන බැලූහ. කිසිදු අරෝවක් අාපදාවක් නැතිව ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ වැඩ සිටි තැනම ඒ ආකාරයෙන්ම දීප්තිය විහිදුවමින් වැඩ සිටින බව ඔවුහු ප්‍රත්‍යක්ෂ කළහ. අනේ සාදු සාදු ඔවුන්ට ඉබේටම කියවිණි.

සම්බුදු පියාණනි, අපට අනුකම්පා කළ මැනවි. සති දෙකක් තිස්සේ අපේ දුප්පත් මිනිසුන් කන්න බොන්න නැතිව කුසගින්දරෙන් දැවෙනවා. අපට අනුකම්පාකොට සහනයක් ලබාදුන මැනවි. වරද කළේ සුද්දා වුණාට අපේ මිනිස්සුන්ටයි පීඩාව. අපට අනුකම්පා කළ මැනවි. ඔවුහු දිගින් දිගටම කන්නලව්කොට පිටිපස්සෙන් පිටිපස්සට පැමිණ දළදා මැදුරෙන් එළියට බැස්සෝය. වැස්ස මුළුමනින්ම නැවතී තිබිණ. එක පොදක්වත් වැටෙන්නේ නැත. එසැණින්ම ආණ්ඩුකාරයා වෙත ගොස් ශ්‍රී දළදා වහන්සේ පෙර පරිද්දෙන්ම වැඩ සිටින බව දැන්වූහ.

ආණ්ඩුකාරයාට ඒ සිද්ධියෙන්ම මේ රටත් එපා වී මාරු වී පිටරට ගියේය. ශ්‍රී දළදා හිමිපාණන්.. ඉස්සුවොත් හෙල්ලුවොත් එළියට ගත්තොත් වහිනවා යන ජනමතය අදත් බෞද්ධ සමාජයට කිඳා බැස ඇත්තෙය.

ඓතිහාසික කතා පුවතක සත්‍යතාවය වෙනුවෙන් ඉතිරි වූ එකම එක සේයා රූ සටහන

 



උපුටා ගැනීම :- උතුම් බුදුදහම 

Thursday, 20 May 2021

වෙර්සායි මැදුර

"සියවස් පහක ඉතිහාසය දිග හරින පැරීසියේ වෙර්සායි  මන්දිරය.(Château de Versailles)"

සියවස් පහක ඉතිහාසය දිග හරින පැරීසියේ වෙර්සායි  මන්දිරය.(Château de Versailles)

සියවස් කිහිපයකට පෙර ප්‍රංශ රාජධානියේ සිහසුන හෙබ වූ රජවරුන් තිදෙනෙකුට සෙවණ දුන් වෙර්සායි මන්දිරය සැලකෙන්නේ එවකට ප්‍රංශ ආණ්ඩුව රැස් වූ ප්‍රධාන මූලස්ථානය ලෙස යි. නමුත් 1789 දී සිදු වූ ප්‍රංශ විප්ලවය සමග ස්ථිර රාජකීය වාසස්ථානය ලෙස එයට හිමි වී පැවති තත්ත්වය ක්‍රමයෙන් නැති වී ගියා.

පැරිස් නුවර සිට කිලෝ මීටර් 16 ක් පමණ නිරිත දෙසින් වෙර්සායි නම් නගරයේ පිහිටා ඇති එය අතීතයේ දී රජ මැදුරක් ලෙස භාවිතා වුවත් වර්තමානයේ දී සංචාරකයන් අතර ජනප්‍රිය වී ඇත්තේ කෞතුකාගාරයක් විදියට යි. 17 වැනි සියවසේ දී දහ හතර වැනි ලුවී රජු විසින්  වෙර්සායි  මැදුර ගොඩ නංවන විට  වෙර්සායි  නගරය කුඩා ගම්මානයක් වුණත් ප්‍රංශ විප්ලවය පැවැත්වෙන සමය වන විට එහි මුළු ජනගහනය 60,000 ඉක්මවා තිබුණේ එය ප්‍රංශයේ විශාලත ම නගරයක් බවට පත් කරමින්.

රජ මැදුරක් වූ දඩයම් බංගලාව

ප්‍රංශයේ කිරුළ දැරූ සිව් වැනි හෙන්රි රජුගේ වැඩිමල් පුත්‍රයා (පසු කාලීනව දහ තුන් වැනි ලුවී රජු) ක්‍රිස්තු වර්ෂ 1607 අගෝස්තු මාසයේ දිනයක දී වෙර්සායි ගම්මානය වෙත පැමිණියේ ඔහුගේ පළමු වැනි දඩයම් චාරිකාව සඳහා යි. මෙසේ  වෙර්සායි  ගම්මානයට පැමිණි ඔටුන්න හිමි කුමරු දශකයක් ම එහි ගත කළ බව යි ඓතිහාසික මූලාශ්‍ර පෙන්වා දෙන්නේ. පසු ව ප්‍රංශයේ රජු ලෙස සිහිසුනට පත් වූ ඔහු නැවත වරක් ක්‍රිස්තු වර්ෂ 1621 දී ඒ වෙත පැමිණ ඇත්තේ වෙර්සායි  ගම්මානය කෙරෙහි ඔහුගේ සිතේ පැවති නොමඳ කැමැත්ත නිසාවෙන් ම යි. පැරීසියේ පිහිටි ඇති තමන්ගේ රජ මැදුරට වඩා ගහකොළින් පිරී ගිය නිරන්තරයෙන් ම වන සතුන් ගැවසුණු වෙර්සායි හි සොඳුරු පරිසරයට ඇලුම් කළ දහ තුන් වැනි ලුවී රජු  ක්‍රිස්තු වර්ෂ 1623 දී වර්සායි හි දඩයම් බංගලාවක් ඉදි කර තිබෙනවා. මුල් කාලයේ දී කුඩා ගැමි නිවසක් මෙන් පෙනුන එය යළිත් වරක් දහ තුන් වැනි ලුවී රජු විසින් ම ක්‍රිස්තු වර්ෂ 1631 දී අලුත්වැඩියා කරන ලද්දේ ප්‍රභූ මැදුරක ස්වරූපයට එයට ලබා දෙමින්. ඒ කාලයේ දී ම වෙර්සායි නින්දගමෙන් කොටසක් රජතුමා විසින් තම භුක්තියට මිල දී ගෙන තිබෙනවා. මෙසේ භාවිතයට පැමිණි වර්සායි මැදුර, මුල් කාලයේ දී භාවිතා කර ඇත්තේ ප්‍රංශ රාජකීයයන්ට තමන්ගේ විවේකය නිදහසේ ගත කළ හැකි ස්ථානයක් ලෙස යි.

වෙර්සායි  මැදුරට ඇලුම් කළ රජතුමා

දහ තුන් වැනි ලුවී රජුගෙන් පසු ව ඔහුගේ වැඩිමල් පුතු, දහ හතර වැනි ලුවී හෙවත් ශ්‍රේෂ්ඨ ලුවී, ප්‍රංශ කිරුළ භාර ගත් අතර කුඩා කල සිටි ම වර්සායි මැදුරට දැඩි ලෙස ඇලුම් කළ බව පැවසෙනවා. මේ නිසා ම තම පියා ගඩොලින් ගොඩනැංවූ දඩයම් බංගලාව, ගම්බද රජ මැදුරක් බවට පරිවර්තනය කිරීමට දහ හතර වැනි ලුවී රජු තීරණය කර ඇති අතර එය සැලසුම් කිරීමේ කාර්යය සිදු කර ඇත්තේ ද ඔහු විසින් ම යි. ඒ අනුව ක්‍රිස්තු වර්ෂ 1661 දී වෙර්සායි මැදුර, ගම්බද රජ මාලිගාවක් බවට පත් කිරීමේ කටයුතු ආරම්භ වී ඇති අතර ක්‍රිස්තු වර්ෂ 1715 දී දහ තුන් වැනි ලුවී රජු මිය යන තෙක් ම විවිධ කොටස් කොටස් එක් වෙමින් වෙර්සායි  මැදුර ක්‍රමයෙන් අද පවතින තත්ත්වයට පත් වුණා.

එය නිල ප්‍රංශ රාජකීය මන්දිරය ලෙස ප්‍රකාශයට පත් කර ඇත්තේ ද දහ හතර වැනි ලුවී රාජ සමයේ දී යි. රජ මැදුරට අමතර ව ප්‍රංශ පරිපාලන මධ්‍යස්ථානය ද වූ වෙර්සායි   මැදුර 18 වැනි සියවස ආරම්භ වන විට ප්‍රංශ රාජ්‍යත්වයේ සලකුණ බවට පත් වී තිබෙනවා.

පහළොස් වන ලුවී රජ සමයේ දී නමුත් ක්‍රිස්තු වර්ෂ 1715 සැප්තැම්බර් මාසයේ දී සිදු වූ දහ හතර වැනි ලුවී රජුගේ මරණයෙන් පසු ව නිල රජ මැදුර නැවත වරක් පැරීසියට ගෙන ගොස් ඇති අතර වෙර්සායි   මන්දිරයේ නඩත්තු කටයුතු ආණ්ඩුකාරවරයා වෙත භාර වුණා. නමුත් ක්‍රිස්තු වර්ෂ 1722 ජූනි මාසයේ දී පහළොස් වැනි ලුවී රජු නැවත වරක් වෙර්සායි  මන්දිරයට  පැමිණීමට තීරණය කර ඇති අතර ඔහුගේ අරමුණ වී ඇත්තේ තම මුත්තණුවන් ඇරඹූ විශිෂ්ට නිර්මාණය සම්පූර්ණ කිරීම යි.  වෙර්සායි මන්දිරය පුරා පැතිරී පැවතුණු විවෘත අවකාශයන් බොහෝමයක් ඔහු කුඩා කුටි බවට පත් කර තිබෙනවා. නමුත් පහළොස් වැනි ලුවී රජු ඔහුගේ පියා හෝ පියාගේ පියා ලෙස නිරන්තරයෙන් ම වෙර්සායි   හි වාසය කර නැහැ.

එසේ වුවත් වෙර්සායි   මන්දිරයේ ඇතුළත මෙන් ම පිටත උද්‍යානය ද සුන්දරත්වය පිරවීමට කටයුතු කළ ඔහු රජ මැදුර තුළ විශාල රඟමඬලක් ද ගොඩ නංවා තිබෙනවා. සම්භාව්‍ය සංගීතඥයෙකු වන ඔස්ට්‍රියානු ජාතික මෝසාට් පවා පහළොස් වැනි ලුවී රජ දවස, වෙර්සායි   මන්දිරයට පැමිණ සංගීත සංදර්ශනය පවත්වා ඇති බව කියැවෙනවා.

ප්‍රංශ විප්ලවය නිසා අත් හළ සොඳුරු රජ මැදුර

පහළොස් වැනි ලුවී රජුගෙන් පසු ව විසි හැවිරිදි වියේ දී සිහසුනට පත් වූ දහ සය වැනි ලුවී රජු සහ ඔහුගේ බිසව, මරී ඇන්ටොනෙට්, වෙර්සායි  මන්දිරයේ දී විචිත්‍රවත් සාද පවත්වමින් විනෝදයෙන් කල් ගත කළ බව නොරහසක්. තමන්ගේ බිසවට ඉමහත් ආදරයක් දැක් වූ දහ සය වැනි ලුවී රජු, ක්‍රිස්තු වර්ෂ 1774 දී රජු මැදුර ආසන්නයේ පිහිටි ට්‍රිඇනන් වතු යාය ඇය වෙනුවෙන් මිල දී ගෙන එහි මන්දිරයක් ගොඩ නගා ඇති අතර පසු කාලීන ව එය  වෙර්සායි  මන්දිරයේ ම කොටසක් ලෙස සලකා තිබෙනවා.

කාලය ගෙවී යන විට රාජකීයයන් කෙරෙහි මහජනයා සතු ප්‍රසාදය කෙමෙන් වියැකී ගොස් ඇති අතර එයට වැඩි වශයෙන් බලපා ඇත්තේ ඉහළ බදු ප්‍රතිශතයන් සහ මරී ඇන්ටොනෙට් බිසවගේ පමණ ඉක්මවා සිදු කර ඇති වියදම්. මේ හේතුවෙන් ප්‍රංශ ආර්ථිකය බිඳ වැටීමට පටන් ගත් අතර ප්‍රංශ විප්ලවයට ද පසුබිම සැකසුණා. ඒ අනුව ක්‍රිස්තු වර්ෂ 1789 ඔක්තෝබර් මාසයේ දී දහ සය වැනි ලුවී රජුට සහ මරී ඇන්ටොනෙට් බිසවට වෙර්සායි   මන්දිරය හැර දා පැරීසියට යන ලෙස බල කෙරුණා.

19 වැනි සියවසේ දී රාජකීයයන් වෙර්සායි මන්දිරය හැර ගිය ද විශ්මයජනක ලෙස ප්‍රංශ විප්ලවයෙන් එයට හානියක් සිදු වුණේ නැහැ. ඒ අනුව එහි අනාගත භාවිතය පිළිබඳ ව විවිධ යෝජනා සහ අදහස් ඉදිරිපත් කරන ලද අතර එයින් එක් යෝජනාවක් වුණේ  වෙර්සායි මන්දිරය, කෞතුකාගාරයක් බවට පත් කළ යුතු බව යි. ඒ අනුව ක්‍රිස්තු වර්ෂ 1833 දී ප්‍රංශයේ ශ්‍රී විභූතිය පෙන්නුම් කිරීම සඳහා  වෙර්සායි   මන්දිරය, කෞතුකාගාරයක් බවට පත් කළ යුතු බවට වූ යෝජනාව සම්මත වුණා. මධ්‍යතන යුගයේ ප්‍රංශ ඉතිහාසය පෙන්නුම් කරන කෞතුකාගාරයක් ලෙස එය මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත කරන ලද්දේ ක්‍රිස්තු වර්ෂ 1837 දී යි.

වෙර්සායි මන්දිරය අද

20 වැනි සියවස ආරම්භයේ දී පළමු ලෝක සංග්‍රාමය හේතුවෙන්  වෙර්සායි  මන්දිරය වසා තබන ලද නමුත් වාසනාවකට පළමු ලෝක සංග්‍රාමයෙන් එයට හානි සිදු වුණේ නැහැ. ක්‍රමයෙන් කෞතුකාගාරයක් ලෙස වෙර්සායි   මන්දිරය ජනප්‍රිය වුණේ එහි ප්‍රදර්ශනය සඳහා පැවති කෞතුක භාණ්ඩ ගණන ද ඉහළ දමමින්. ක්‍රිස්තු වර්ෂ 1919 දී  වෙර්සායි  මන්දිරය කෙරෙහි නැවත වරක් මුළු ලෝකයේ ම අවධානය යොමු වුණේ  වෙර්සායි  සාම ගිවිසුම අත්සන් කිරීම හේතුවෙන්.

මෙසේ සියවස් පහක ප්‍රංශ ඉතිහාසයට සාක්ෂි දරණ වෙර්සායි    මන්දිරයේ දී දැක ගැනීමට ඇති දේ බොහෝම යි. අලංකාර කාමර ගණනාවකින් සමන්විත ප්‍රධාන මාලිගාව, මරී ඇන්ටොනෙට් බිසවගේ ට්‍රිඇනන් වතු යාය,  වෙර්සායි  උද්‍යානය සහ රාජකීය අස්හල ඒ අතරින් සුවිශේෂී තැනක් හිමි කර ගන්නවා.

ප්‍රංශ රාජ්‍යත්වයේ සලකුණ

දශක තුනක කාලයක් තිස්සේ ලෝක උරුමයක් ලෙස නම් කර ඇති වෙර්සායි   මන්දිරය සැලකෙන්නේ 17 වැනි සියවසේ ප්‍රංශ කලා ශිල්පයන්ගේ විශිෂ්ටත ම නිර්මාණයක් ලෙස යි. කාමර 2,300 කින් සමන්විත වෙර්සායි   මන්දිරය වර්ග මීටර් 63,154 ක භූමි ප්‍රදේශයක් පුරාවට පැතිරී තිබෙනවා. සඳුදා හැරුණු විට සතියේ සෑම දිනක ම උදෑසන 9 සිට සවස 6.30 දක්වා මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත  වෙර්සායි  මන්දිරයට ඇතුළු වීම සඳහා ප්‍රවේශ පත්‍රයක් මිල දී ගත යුතු යි.  මන්දිරයේ දී දැක ගත හැකි සුවිශේෂි අංගයක් කිහිපයක් ම පවතිනවා.

කැඩපත් ශාලාව

  වෙර්සායි  මන්දිරයේ ඇති ප්‍රසිද්ධ ම ශාලාව ලෙස සැලකෙන මෙය ගොඩ නංවා ඇත්තේ ක්‍රිස්තු වර්ෂ 1678 – 1684 කාලයේ දී යි. ශාලාව තුළ කැඩපත් 357 ක් දක්නට ලැබෙන අතර ක්‍රිස්තු වර්ෂ 1919 ජූනි 28 වැනි දින  වෙර්සායි   සාම ගිවිසුම අත්සන් කර ඇත්තේ ද මෙහි දී යි.

රජුගේ රාජ්‍ය මැදිරි

රජතුමා විසින් අනෙකුත් රාජ්‍ය නායකයන් සහ ප්‍රභූවරුන් පිළි ගැනීම සඳහා යොදා ගන්නා ලද රාජ්‍ය මැදිරි කිරුගරුඬෙන් නිම කර ඇත අතර සිවිලිම සම්පූර්ණයෙන් ම පාහේ සිතුවම් මගින් අලංකාර කර තිබෙනවා. බොහෝ අවස්ථාවල දී රාජ්‍ය මැදිරි අලංකාර කිරීම සඳහා යොදාගෙන ඇත්තේ ඉතාලි සැරසිලි යි.

රාජකීය දෙව් මැදුර

ක්‍රිස්තු වර්ෂ 1710 දී වැඩ කටයුතු අවසන් කරන ලද රාජකීය දෙව් මැදුර ගොඩ නංවා ඇත්තේ දහ හතර වැනි ලුවී රජ දවස යි. එය සැලසුම් කර ඇත්තේ ගොතික් ගෘහ නිර්මාණ ශිල්පයට අනුව වන අතර එය ශාන්ත ලුවී වෙනුවෙන් කැප කර තිබෙනවා. බොහෝමයක් රාජකීය විවාහ මංගල්‍යයන්, බෞතීස්ම කිරීම් සහ අනෙකුත් ආගමික උත්සව පවත්වා ඇත්තේ මෙහි යි.

සම්මන්ත්‍රණ සභාව

19 වැනි සියවසේ දී සම්මන්ත්‍රණ සභාව ගොඩ නංවා ඇත්තේ ප්‍රංශ ආණ්ඩුවේ නිලතල දැරූවන්ට රැස් වී සාක්ච්ඡා කිරීම සඳහා යි. තරමක් දුරට පාර්ලිමේන්තු ගොඩනැගිල්ලක ස්වරූපය ගන්නා එය සාමාන්‍යයෙන් මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත කරන්නේ නැහැ. නමුත් ප්‍රකාශයට පත් කරන ලද විශේෂිත දිනවල දී එය නැරඹීමේ හැකියාව පවතිනවා.

රාජකීය ඔපෙරා ශාලාව

පහළොස් වැනි ලුවී රජුගේ රාජ්‍ය සමයේ දී ගොඩ නංවන ලද රාජකීය ඔපෙරා ශාලාව සැලකෙන්නේ එ් සමයේ යුරෝපයේ පැවති විශාල ම රඟහල ලෙස යි. ක්‍රිස්තු වර්ෂ 1770 දී දහ සය වැනි ලුවී රජුගේ සහ මරී ඇන්ටොනෙට් බිසවගේ විවාහ භෝජන සංග්‍රහය ද මෙහි පවත්වා තිබෙනවා.

සංග්‍රාම සිතුවම් මැදිරිය

 වෙර්සායි   මන්දිරයේ ඇති විශාලත ම කාමරය වන සංග්‍රාම සිතුවම් මැදිරිය වෙන් කර ඇත්තේ ප්‍රංශ ඉතිහාසයේ සිදු වූ විවිධ සංග්‍රමයන් හි සිතුවම් ප්‍රදර්ශනය සඳහා යි. ක්‍රිස්තු වර්ෂ 1837 දී විවෘත කරන ලද එහි සිතුවම් 30 කට අධික ප්‍රමාණයක් ප්‍රදර්ශනය කර තිබෙනවා.

මරී ඇන්ටොනෙට් බිසව වෙනුවෙන් තැනූ ට්‍රිඇනන් වතු යාය

දහ සය වැනි ලුවී රජු විසින් මරී ඇන්ටොනෙට් බිසව වෙනුවෙන් වෙන් කරන ට්‍රිඇනන් වතු යායේ ඉදි කිරීම් කටයුතු ආරම්භ වී ඇත්තේ එයට බොහෝ කාලයකට පෙර ක්‍රිස්තු වර්ෂ 1687 දී යි. ස්වභාවික පරිසරයේ සුන්දරත්වයට හානියක් සිදු නොවන අයුරින් අලංකාර කර ඇති ට්‍රිඇනන් වතු යාය තුළ මරී ඇන්ටොනෙට් වෙනුවෙන් ගොඩ නංවන ලද කුඩා මන්දිරයක් ද දැක ගැනීමට ලැබෙනවා.

සමමිතියේ කලාව පෙන්වන වර්සායි උද්‍යානය

කැඩපත් ශාලාවේ කවුළුවකින් පිටත බැලූ විට ම දක්නට ලැබෙන වෙර්සායි   උද්‍යානය මුල්වරට සැලසුම් කර ඇත්තේ ක්‍රිස්තු වර්ෂ 1660 දී යි. ඉන් පසු ව විවිධ රජවරුන් යටතේ විවිධ වෙනස්කම්වලට ලක් වුව ද එහි සුන්දරත්වය බිඳකින්වත් අඩු වී නැහැ. අලංකාර වතුර මල් සහ ප්‍රතිමා යොදාගෙන අලංකාර කර ඇති වෙර්සායි    උද්‍යානයේ ඇති සුවිශේෂී ම අංගය වන්නේ දොඩම් අරඹ යි. හෙක්ටයාර තුනක පමණ භූමි ප්‍රමාණයක් පුරා විහිදි ඇති එය සතු ව දොඩම් ගස් 1,055 ක් පමණ ඇති බව පැවසෙනවා.

අස් සේනාවේ බලය පෙන් වූ රාජකීය අස්හල

දහ හතර වැනි ලුවී රජුගේ ඉල්ලීමකට අනුව ක්‍රිස්තු වර්ෂ 1679 – 1682 අතර කාලයේ දී ගොඩ නංවන ලද රාජකීය අස්හල, 18 වැනි සියවස වන විට අසුන් 2,000 ක අධික ප්‍රමාණයකට සෙවණ සැපයූ බව සඳහන් වෙනවා. එසේ ම අස්හලේ සේවය පමණක් සේවකයන් 1,500 ක් යොදවා තිබෙනවා.


Thappad

 කම්මුල් පහරක් නිසා දීගයක් දික්කසාදයක් දක්වා ගිය දුරක්..🤔🤔 Thappad"  එසෙත් නැත්තම් "කම්මුල් පහර" වසරෙ දුටු තවත් එක කාන්තාව ...