කාන්තාවට සමාජයේ නිසි තැන ලැබෙනවාද?
කාන්තාව එදත් අදත්, කවදත්, කොතැනත්, පිරිමියාට වඩා අසාධාරණයට ලක්වන බව මැදහත්ව බලන කෙනෙකුට පැහැදිලි වන කාරණයකි. එපමණක් නොව ඇය ස්වභාව ධර්මයෙන් පවා කරුණු පහකින් පුරුෂයාට වඩා දුක්විඳි තැනැත්තියක් බව බුදුරජාණන් වහන්සේ ආවේණික දුක්ඛ සූත්‍රයෙන් පැහැදිලි කොට ඇත. ලෝකයේ සියලු ආගම් හා දර්ශනයන්ට වඩා කාන්තාවගේ තත්ත්වය ඉහළට නඟමින් ආධ්‍යාත්මික විමුක්තියේ ඉහළම ඵලය වූ නිර්වාණාබබෝධය ලබා ගැනීමේ සියලුම සුදුසුකම් ඇය වෙත පවත්නා බව සනාථ කොට ඇත්තේ බුදුදහමේ පමණක් බව ප්‍රථමයෙන් ම අවධාරණය කළ යුතු ය.
ථෙරවාදී බුදුදහමේ ආභාෂ ලැබූ ලංකාව, බුරුමය, තායිලන්තය, ලාඕසය වැනි රටවල්හි ජීවත් වන කාන්තාව ඈත අතීතයේ පටන්ම සමාජයේ ගෞරවයට පාත්‍ර වූ පිරිමියාට සහිත වරප්‍රසාද ලැබූ තැනැත්තියක් බවට පෙරදිග සංක්‍රමණය කළ අපරදිග විචාරකයන්ගේ වාර්තාවලින් මනාව පැහැදිලි කර ඇත. බුදු දහම පවත්නා ශ්‍රී ලංකාව තායිලන්තය, බුරුමය, වැනි රටවල කාන්තාවන්ගේ තත්ත්වය සලකා බලනවිට බෞද්ධ කාන්තාව ඉහළ වරප්‍රසාද ලබා ඇති බව පෙන්වා දී ඇත.
1972 හියුග් බොයිඩ්, නම් වූ මහනුවර උසාවියේ රාජ්‍ය නිලධාරියා, පෙරදිග රටවල සසඳමින් ලාංකීය කාන්තාව සමාජයේ ඉහළ තත්ත්වයක සිටින බවත් ඇය නිවසේ සිරකර තැබුවේ නැතැයි ද ඇගේ මානව අයිතීන් උල්ලංගණය කොට නැතැයි ද වාර්තා කරයි. 17වෙනි 18වෙනි සියවස්හි ලංකාවට පැමිණි යුරෝපියන් යුරෝපයේ හා ඉන්දියාව වැනි බොහෝ රටවල්හි නීතිය සසඳමින්, ලංකාව, බුරුමය, තායිලන්තය.රටවල කාන්තාවන් හින්දු, මුස්ලිම්, කාන්තාවන්ට වඩා නිදහසක් භුක්ති විඳින පිරිසක් බව වාර්තා කර ඇත. ජි.ග්‍රාන්ට් බ්‍රොන් 1889 – 1917 බුරුමයේ බදු නිලධාරියා, ලෙස සේවය කළ බ්‍රිතාන්‍ය ජාතිකයා බෞද්ධ කාන්තාව, බිරිඳක්, මවක් දියණියක් වශයෙන් කාන්තා නිදහස භුක්ති විඳින වාසනාවන්ත පිරිසක් ලෙස වාර්තා කර ඇත.
භාරතීය කාන්තාව සෘග් වේද යුගයෙහි යම්තරමකට සමාජයේ උසස් තත්ත්වයක් හිමිකරගෙන තිබුණත් බුද්ධ කාලය වන විට ඇය පහත් තත්ත්වයකට පත්කර තිබූ බව වාර්තාවේ. බ්‍රාහ්මණ පූජක පන්තිය විසින් කාන්තාව එකල පැවැති කුල ක්‍රමයේ පහත් ම තත්ත්වයෙහි ලා සැලකූ ශුද්‍රයාගේ තත්ත්වයට කාන්තාව ඇද දමා තිබුණි. බ්‍රාහ්මණයන්ගේ වේද මන්ත්‍ර සජ්ඣායනය ශුද්‍රයාටත් කාන්තාවටත්, තහනම් කොට තිබිණි. ඇයට ස්වර්ගයේ දොර විවෘත වන්නේ ස්වාමියාට අතිශයින් භක්තිමත්ව උපස්ථාන කිරීමෙන් පමණි. එය එකල සමාජ ආධිපත්‍යය හිමිකරගෙන සිටි බ්‍රාහ්මණයන්ගේ කාන්තාව පිළිබඳ ආකල්පයයි.
තාක්ෂණික වශයෙන් දියුණුවට පත්ව ඇති වත්මන් ලෝකය කාන්තාව ගැන කොතරම් අසාධාරණව ක්‍රියාත්මක වනවාද යන්න ඇතැම් රටවල ක්‍රියාත්මක වන ගබ්සා කිරීමෙන් හෙළි වේ. කාන්තාව ඉපදෙන්නට පෙර මරා දැමේ. ස්ත්‍රී කලල ගබ්සාව වර්තමානයේ උග්‍ර තත්ත්වයකට පත්වීමෙන් මෙය පැහැදිලිවේ. ස්ත්‍රියක් ගැබ් ගැනීමෙන් සති දොළහක් ගත වූ පසු ගර්භාෂයට නිකුත් කෙරෙන අති ධ්වනි තරග මඟින් කුස සිටින දරුවා දියණියක් ද පුතෙක් ද යන්න දැන ගැනීමට හැකිවේ. මෙහි ප්‍රතිඵලය වූයේ ස්ත්‍රී කලලය විනාශ කිරීමයි. ඒ අනුව නිර්මාණයේ ස්ත්‍රී, පුරුෂ උපත් අනුපාතය පුරුෂයන් 120ට ස්ත්‍රීන් 100 බවට පත්වීමයි. ඉන්දියාවේ හරියානා, පන්ජාබය වැනි ප්‍රාන්තවල තත්ත්වය මීට වඩා උග්‍රය. දිල්ලිය වැනි සංවර්ධනය වූ ප්‍රදේශයක පවා පිරිමි 114වන විට ස්ත්‍රීන් 100 තත්ත්වයට පත්ව ඇත.
මෙම වාර්තාව මෙසේ වුවද ලංකාව තුළ ස්ත්‍රී කලල විනාශයක් මෙතෙක් වාර්තා වී නැත. මේ කිනම් ආශ්චර්යක් ද? බුදුදහමෙන් ලැබූ කාන්තා විමුක්තිය පිළිබඳ ස්වර්ණමය උදාහරණයකි. මෙම කාරණය දෙදහස් තුන්සියයක් පැවැති බුදුදහමේ ආභාෂය හුදෙක් බෞද්ධ කාන්තාවට පමණක් නොව ලක්දිව අන්‍ය ආගමික කාන්තාවන් කෙරෙහි ද යහපත් බලපෑමක් වී ඇති බව ගවේෂණ කරන කෙනෙකුට පසක් කරගත හැක.
නූතන ලෝකයේ භාරතීය කාන්තාව කෙරෙහි මෙබඳු අසාධාරණත්වයක් පවතී නම් ක්‍රි.පූ. 6වෙනි සියවසෙහි කෙබඳු තත්ත්වයක ඇය ජීවත් වුවාද යන්න අනුමාන කළ හැක. රජ පවුලක වුවද උපන්නේ දියණියක් නම් එය කනස්සල්ලට හේතුවක් විය. කෝසල රාජ්‍යයේ පසේනදී කොසොල් රජතුමා මල්ලිකා දේවිය දියණියක් බිහි කළ අවස්ථාවේ රජතුමාගේ දුක පසුතැවිල්ල දුරුකිරීම සඳහා බුදුරජාණන් වහන්සේ මැදිහත් වෙමින් කාන්තා උපත පිළිබඳ රජතුමා තුළ සාධාරණ ආකල්පයක් ඇති කළහ.රජතුමනි, ස්ත්‍රිය ද ශ්‍රේෂ්ඨය, ඇය පෝෂණය කළ මැනවි නැදි මයිලන් දෙවියන් ලෙස සලකන පතිවත රකින කාන්තාව උත්තම වේ. සමස්ත සත්ව ප්‍රජාව පවත්නේ ස්ත්‍රී, පුරුෂ දෙදෙනාගේ එක්වීමෙනි. මේ දෙදෙනාට වෙන්ව සත්ව ප්‍රජනනයක් බිහි කළ නොහැක. ඇය පහත් තැනැත්තියක් වීමේ සාධාරණත්වය කුමක්ද? ලෝකය මැවූ දෙවියන් විසින් මිනිසාත් ගැහැනියක් මවන ලදැයි නිර්මාණවාදී ආගම් සියල්ලේ ඉගැන්වේ. කුල වශයෙන් ස්ත්‍රී, පුරුෂ වශයෙන් වර්ගකොට බ්‍රාහ්මණ විසින් මැව් මාර්ගය සැලකෙන මිනිස් ප්‍රභවය බුදුන්වහන්සේ සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කළහ. ඒ අනුව මිනිස් ගැහැනිය මැවූ බ්‍රාහ්මණ, වුණේ දෙමාපියන්ය. බ්‍රහ්මාති භික්ඛවේ මාතා පිතුන්නං අධිවචනං’ මව හා පියා මිනිසා මැවූ බ්‍රහ්මයායි. එක අතකින් මිනිසාගේ මැවුම්කරු අම්මා හා පියායයි දේව නිර්මාණ වාදයේ බ්‍රහ්මත්වය දෙමාපියන්ට පවරන ගමන් බුරදධාවිය මාතා, බුරදධාවිය පිතා බෞද්ධයන්ගේ උත්තරීතර පරමාදර්ශය බුද්ධත්වය තත්ත්වයට මවත් පියාත් උසස් කොට සැලකීමෙන් පැහැදිලි වන්නේ බුදුදහම ලිංගික වෙනසක් නොතකා මවත් පියාත් සම තත්ත්වයෙහිලා සලකා ඇති බවයි.
ස්ත්‍රිය හැඳිමිටේ නුවණ ඇත්තියක් ලෙස ‘ද්වංගුල පඤ්ඤා’ ඇඟිලි තුඩු දෙකෙහි නුවණ ඇති කෙනෙක් ලෙස හඳුන්වනු ලැබුයේ බ්‍රාහ්මණ සමාජය විසිනි. පිසෙන බතක් හොඳින් පැසී තිබේද යන්න පරීක්ෂා කර බලනුයේ බත් හැලියෙන් හැඳිමිටට ගත් බත් හුලක් ඇඟිලි තුඩු දෙකෙන් තද කර බැලීමෙනි. මුළුතැන්ගෙට හිරවී බත් පිසින ඇයගේ නුවණ බමුණෝ උපහාසයෙන් දැක්වූයේ එලෙසින් වුවත් බුදු දහම ඇයට සමාන තත්ත්වයෙන් ගරු කරයි. ස්ත්‍රී, පුරුෂ භේදයකින් තොරව ඇයත් පිරිමියා හා සමාන ප්‍රඥාවෙන් යුක්ත බව පිළිවෙත් පුරා නිවන් අවබෝධ කරගත් ශ්‍රාවිකා චරිතයන්ගෙන් සනාථ කොට දක්වයි.මාතික මාතාව තිස්නමක් භික්ෂූන්ට සිව් පසයෙන් සංග්‍රහකොට උන්වහන්සේගෙන් දෙතිස් කුණප කමටහන ඉගෙනගෙන මේ තිස්නමට කලින් පංච අභිඥාවන් සහිතව අනාගාමි ඵලයට පත් වූ බව ධම්මපදයේ මාතික මාතා කතා පුවතෙහි දැක්වේ.
බුදුදහම කාන්තා විමුක්තිය හා පුරිස විමුක්තිය යනුවෙන් විමුක්ති සංකල්ප දෙකක් නොපිළිගනී. ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව දෙදෙනාට ම ඔවුන් මුහුකුරා ගිය ප්‍රඥාව අනුව නිර්වාණාවබෝධය ලැබිය හැකි බව බුදුදහම සනාථ කොට දක්වයි. එසේනම් අප බුදුරජාණන් වහන්සේ මහා ප්‍රජාපතී ගෝතමිය ඇතුළු පන්සියයක් ස්ත්‍රීන්ට පැවිදි බව දීමට පසුබට වූයේ අකැමැති වූයේ ඇයිදැයි කෙනෙකුට ප්‍රශ්න කළ හැක. මෙය පෙර අපර දෙදිග විචාරකයන් වරදවා තේරුම්ගත් අවස්ථාවකි. ඇලන් ස්පොන්බර්ග් දක්වන්නේ කාන්තාවන්ට පැවිදි බව ලබා දීමට බුදුරදුන් අකමැති වූ බව භික්ෂූන්ගේ ප්‍රබන්ධයක් බවයි. බුදුරදුන් තුන්වතාවක්ව භික්ෂුණී පැවිද්ද ප්‍රතික්ෂේප කළෝ අන් කිසි කරුණක් නිසා නොව භික්ෂුන්ගේ සාසන බ්‍රහ්ම චර්යාවට එය බාධාවක් වන බව හොඳින් දැනසිටි නිසා ය. කෙසේ නමුත් බොහෝ දෙනාගේ ඉල්ලීම පරිදි සසුනට ඇතුල්වීමට කාන්තාවන්ට අවස්ථාවක් ලබා දුන්නේ ‘අෂ්ට ගරු ධර්ම’ කාන්තාවන් ඉහළින් ම පිළිගැනීමෙන් පසුවයි. මෙම ප්‍රස්තුත කරුණ ප්‍රතිඵල ලෙස සාකච්ඡා කළ යුතු කරුණකි. කෙසේ වුවත් උන්වහන්සේ මෙම අවසරය ලබා දෙමින් භික්ෂුණී ශාසනය පිහිටුවීම නිසා තම සාසනයේ ආයු කාලය අඩකින් ගෙවී ගිය බවකළ අනාවැකිය පස්වෙනි සියවස වන විට බුදුදහම භාරතයෙන් අතුරුදන්වීමෙන් සනාථ වේ. හියුං යාං පාහියන් වාර්තාවන්ගෙන් හා මෘච්ඡඝටක යන සංඝටක ග්‍රන්ථයන්ගේ එම යුගයේ භික්ෂුණීන් හා භික්ෂූන්ගේ පරිහානිය කොතරම් ද යන්න සනාථ කෙරෙයි.
නූතන කාන්තාව දෙස බලනවිට ඇයට සමාජයෙන් එල්ල වන බලපෑම කොතෙක්දැයි නිර්ණය කළ නොහැකි තරම්‍ය.පවුලේ සිට සමාජයේ විවිධ ක්ෂේත්‍රයන් හිදී ඇයට අත්වන තත්ත්වය අද වන විට කණගාටුදායකය.තනිවම පාරක,පොදු ප්‍රවාහන සේවයක ගමන් කිරීමට නොහැකි තත්ත්වයන් අදවන විට උදා වී ඇත.එය මහත් අසාධාරණයකි.උපන්දා සිට දෙමාපියන් යටතේද,ආදරය කරන විට විවාහා වූ පසු ස්වාමියා යටතේද,පසුව දරුවන් යටතේද සිට ඇයට තීරණ ගැනීමට සිදුව ඇත.ඇයට ඇයගේ නිදහස අහිමී වී ගොස්ය .අද වන විට ස්ත්‍රී අපරාධ කොතෙක් නම් සිදු වී ඇත.පිරිමින්ගේ හුදෙක් විකෘති ලිංගික ආශාවන් වෙනුවෙන් කොතෙක් කාන්තාවන් ,ගැහැණු දරුවන්,තරුණ තරුණියන් ගොදුරු වී ඇත.ගැහැණිය ලිංගික භාණ්ඩයක් නොව ,ඇයටද ජීවත් වීමට අයිතියක් ඇත.පිරිමින්ට මෙන්ම ගැහැණියටද ඇත්තේ ජීවිතයකි.
දරුවන් වැදීම,රැකබලා ගැනීම,ආහාර පිසීම,රෙදි සේදීම මේවා ගැහැණියට ම උරුම කටයුතු නොවේ.දරුවන් බිහිකිරීම ඇය සතු ජීව විද්‍යාත්මක වූ කෘත්‍යයකි.නමුත් ඉතිරි සියලු රාජකාරීන් සමාජය විසින් මවාගන්නා ලද දේවල් ය.ගැහැණියගේම කැමැත්තට දරුවන් වදනවා නොව,පිරිමියාගේද මැදිහත්වීමක් ඇත.නමුත් ගැහැණියට පමණක් දරුවන් රැක බලාගැනිමේ වගකීම පටවයි.කාන්තාව ද රැකියාවට ගොස් නිවසට පැමිනි විට ස්වාමියාට තේ සාදා දෙයි.නමුත් ගැහැණිය වෙනුවෙන් තේ සාදා දෙන්නට කෙනෙක් නැත.මෙය මහත් සමාජ අසාධාරණයකි.විශේෂයෙන් කාන්තාවගේ නිදහස සීමා වන්නේ විවාහයෙන් අනතුරුවයි.ගොඩක් පිරිමින් තේරුම් නොගන්නේද එතැනයි.ඔහුට වගේම ඇයටත් ආශාවන් ඇත.නිදහසේ එක දිනයක් හෝ නිවසින් පිටතට ගොස් සතුටුවීමට ඇයත් කැමතිය.ඔහු වගේම ඇයගේ මිතුරියන් හමුවීමටද කැමතිය.නමුත් එවැනි අවස්ථා හිමි වීම අල්පය. ස්ත්‍රී පුරුෂ සමාජභාවී බෙදුම හේතුවෙන් මේ තත්ත්වය උදා වී ඇත.මෙහි සැබෑව තේරුම් ගත් පිරිස අල්පය.එවන් ස්ත්‍රීන් වාසනාවන්තය...හැමදාම ගැහැණියටම වැඩ පැවරීම ,දොස් නැගීම මහත් වූ කණගාටුවට කාරණාවක් ලෙස මා දකිමි.මෙය බෙහෙවින් සංවාදාත්මක මාතෘකාවක් වන බැවින් මේ ගැන දීර්ඝව සාකච්ඡා නොකරමි.
කාන්තාවට සමාජයේ නිසි තැන ලැබෙනවාද? නිගමනය ඔබට බාරයි...