Thursday, 21 January 2021

වැඩවර්ජන

 රටක සංවර්ධනය කෙරෙහි දැඩි බලපෑම් එල්ල කරන වැඩ වර්ජන

දුරාතිතයේ සිට අතලොස්සක් වූ ධනපති පන්තිය නිර්ධන ලෙස කම්කරු ශ්‍රමය සූරා කමින් තම අභිමතාර්ථයන් මුදුන් පමුණුවා ගත් හ.ඊට එරෙහිව ඇමරිකාවේ චිකාගෝ නගරයද රැස් වූ කම්කරුවෝ දහස් ගණනින් කම්කරු අයිතීන් වෙනුවෙන් නැගී සිටියහ.එහි ප්‍රතිඵලය කම්කරු අයිතීන් දිනාගැනීම වේ.මැයි පලවෙනි දින ලෝක කම්කරු දිනය බවට පත්වෙන්නේ කම්කරු සටන්වල ප්‍රතිඵලයක් ලෙසිනි.එසේනම් සංවිධානය වූ සේවක පිරිස තමාට නියමිත කාර්ය පටිපාටියෙන් බැහැරව සිටීම එතුළින් තමා සේවය කරන ක්ෂේත්‍රයේ වැඩ කටයුතු අඩපණ කිරීම වැඩ වර්ජන නමින් හඳුන්වයි.

වැඩවර්ජන වූ කලී කම්කරු අයිතිවාසිකමකි.එබැවින් ඇතැමෙක් කෑම පැය උපයෝගි කරගෙන වැඩ වර්ජනයන්හි නියැලෙති.එමගින් ඔවුනට බාධාවක් නොවුනත් අනෙකුත් ජනතාවට එමගින් බාධා තත්ත්වයන් ඇතිවේ.ඇතැම් වෘත්තිකයෝ සංකේත වැඩ වර්ජනවල නියැලෙති .ඇතැමෙක් ඉල්ලීම් දිනාගන්නා තුරු වැඩ වරති.වැඩ වර්ජනවලට යොමුවීමට බලපාන හේතු බොහෝය.ආයතන ප්‍රධානියා සමඟ ඇතිකරගන්නා පෞද්ගලික ආරවුලක් මත අන් සේවකයින් උසිගන්වා වැඩ වර්ජනවලට කිසිවෙකු යොමු විය හැකිය.එහෙත් පොදු ප්‍රශ්න මූලික කරගෙන වැඩ වර්ජන කරති.සේවක අර්ථසාධකය ආරක්ෂා කරගැනීම හෝ වැඩි කරගැනිම ,විශ්‍රාම වැටුප් මූලික වීම,වැටුප් තල ඉහළ නංවා ගැනීම ,සේවාකාල නීර්ණය ව්‍යාපාර හිමියන්ගෙන් ඇතිවන පීඩනය  අවම කරගැනීම,වෛද්‍ය පහසුකම් සහ අනතුරුවලදී ලැබිය යුතු වන්දි මුදල අරඹයා සමහරු වැඩවර්ජනය කරති.දිනෙන් දින ඉහළ යන ජීවන වියදමට සාපේක්ෂව වැටුප් තල  වර්ධනය හේතුවෙන් බොහෝවිට කම්කරුවෝ වැඩ වර්ජනය කරති.සමහරක් දේශපාලකයන්ගේ පටු අරමුණු සාක්ෂාත් කරගැනීම සඳහා දේශපාලන උසිගැන්වීම මත වැඩ වර්ජන ක්‍රියාත්මක වීම මෑතකාලයේදී දක්නට ලැබෙන එක් ප්‍රවණතාවකි.

වැඩවර්ජන කම්කරු අයිතියක් බව අවිවාදිතය.වැඩ වර්ජනයක් හේතුවෙන් කිසියම් ව්‍යාපාරික ආයතනයක්,රටක්(ආණ්ඩුවක්) පෙරලා දැමීමට වුව ද බලය ඇත.ව්‍යාපාරික කටයුතු,අත්‍යවශ්‍ය සේවා අඩපණ කරන වැඩ වර්ජන රටක බලගතු දේශපාලන ආයුධයකි.

විදේශ ආයෝජකයෝ මෙරටට පැමිණෙති ඔවුන්ගේ අපේක්ෂාව රටේ අසිරිය නැරඹීම නොවේ.ආර්ථිකය තර කර ගැනීමයි.වැඩ වර්ජන හේතුවෙන් ආනයන අපනයන කටයුතු  බිද වැටේ.පාරිභෝගික ද්‍රව්‍ය බෙදාහැරීම අක්‍රමවත් වේ.ගමනාගමනය,පණිවිඩ සේව,විදුලිය,ජලය,කුණුකසල ඉවත් කිරීම ආදී සේවා බිඳ වැටේ.රෝහල් වෛද්‍යවරු ,හෙද හෝ කාර්‍ය මණ්ඩලයෙහි වැඩවර්ජන හේතුවෙන් රෝගීනට ඇතිවන බලපෑම මුදලින් තක්සේරු කළ නොහැක.ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ම ජීවත් වීමේ අයිතිය පිළිගෙන ඇත.වෛද්‍යවරුන් වැඩ වර්ජනය කිරීමෙන් මිනිසාගේ ජීවත්වීමේ අයිතියද ප්‍රබල බලපෑමක් ඇති කරයි.මෙය නීතිමය ගැටලුවකි.

රටක සංවර්ධනයක් වැඩ වර්ජනයත් අතර ඇති සම්බන්දය අභේද්‍ය එකකි.විදේශීය ආයෝජකයෝ මෙරටට පැමිණිමට අපේක්ෂාවෙන් සිටිති.එහෙත් දිගින් දිගටම සිදුවන වැඩවර්ජන රැල්ලක් අද දක්නට ලැබේ.වර්ශයකට අනිවාර්‍යෙන්ම වැඩ වර්ජන කිහිපයක්ම දක්නට ලැබේ.එහෙයින් ආයෝජකයෝ නොපැමිණෙති.රටට ලැබෙන්නට ඇති දේවල් නොලැබෙන තත්ත්වයන් ද ඇති වේ.මෙය ආර්ථිකයට මරු පහරකි. ඔවුන් මෙන්ම අනෙකාද දැඩි අපහසුතාවයට ලක්වන බව අවිවාදීය කරුණකි.දිගින් දිගටම වැඩවර්ජන කිරීම රටක කීර්ති නාමයටද හානියකි.ජාතික නිෂ්පාදනයට,විදේශ වෙළදාමට ඉතා සරලව කිවහොත් රටේ සංවර්ධනයට වැඩ වර්ජන හානියකි.සමහරක් වැඩ වර්ජන මුවාවෙන් දේපල හානි කිරීම සහ වෙනත් කඩාකප්පල්කාරී ක්‍රියාවන්හි යෙදෙති.


වැඩවර්ජන මූලික කම්කරු අයිතිවාසිකමක් බව අපි පිළිගනිමු.එබැවින් රජයක් කම්කරු මර්ධන නීති නොපැනවිය යුතුය.කම්කරුවන්ගේ හඩට ඇහුම්කන් දිය යුතුය.වෘත්තීය සමිති නායකයන් මස් රාත්තල ඉල්ලන්නාක් මෙන් ක්‍රියා නොකළ යුතුය.එසේ වූ විට කමකරු අයිතීන් සුරැකෙන ගමන් මග වේගවත් කරන සැබැවින්ම සුබවාදී අනාගතයකට මංපෙත් විවරවනු ඇත.

Monday, 18 January 2021

කොරෝනා කාලේ විභාගේ



වෙනද වගෙ හිරු පෑයුවට

ගමට ඉර එළි වැටුනට

යන්න බෑනේ එලියට

ලෙඩෙක් ඇවිදින් ගොදුරට


මාස්ක් දාලා හැමෝම

යනවා එලියේ ඔක්කොම

කොහොම හිටි අපිටද

මෙහෙම වෙන්නෙ දෛවෙට


එකම තැන අපි හිරවෙලා

මනස හොදටම වෙහෙසිලා

ස්ක්‍රීන් එක දිහා බලලම

ඇස්පෙනීමත් අඩුවෙලා


අන්න ඒ මැද විභාගේ

ඇවිත් එකපිට සෙම් දෙකක්

ඒක ලියන්නම වෙනවනේ

මීටරේ පරතරේ තියන්


කොරෝනා නිසා කාලේ

යවාගන්නට හොද නෑනේ 

කොහොමහරි මේ ප්‍රශ්නේ

විසදගන්නට ඕනෑනේ


හිතට ධෛරිය අරන්

මුහුණ දෙමු මේවට තුටින්

කොහෙවත් යන කොරෝනාවට

යටත් නොකරමු අපේ යුතුකම්


හීන හමුවේ හඹායන

ඔබ මම අපි හැමෝටම

අභියෝග හමුවේ නොසැලෙන්නට

සැමට ශක්තිය ලැබේවා!


✍️ ශෂිනි දිල්හාරා 


Saturday, 16 January 2021

කැටයම් කලාවට හපන්කම් කියන ඇම්බැක්ක දේවාලය

 

                   ඇම්බැක්කේ දේවාලය 

         මධ්‍යම පළාතේ  ඓතිහාසික උරුමයන් රාශියක් ඇත.ඒ අතරින් ඇම්බැක්ක දේනාලය සුවිශේෂි තැනක් ගනී.මෙහි ඇති පුරාවිද්‍යාත්මක,කලාත්මක වටිනාකම් බොහෝය.ක්‍රි.ව 1357-1374 කාලයේ ගම්පොල රාජධානියේ රජ කළ 3 වන ව්ක්‍රමබාහු රජතුමා විසින් මෙම දේවාලය ඉදිකල බවට ඉතිහාසයේ සදහන් වේ.වෙල් යායක් අසබඩ ගල් තලාවක් මත පිහිටා ඇති මෙය කන්ද උඩරට ශ්‍රී විභූතිය පාන උරුමයකි.  

පේරාදෙණියට  සැතපුම් 8ක් පමණ ඈතින් පිහිටි දවුලගල නම් ගමේ සිට සැතපුම් භාගයක් පමණ ගිය විට ,ගම්හත දක්වා විහිදෙන මහාමාර්ගයේ දකුණුපස ඇති වෙල්යා‌යේ අසබඩ ඇම්බැක්කය නම් ගමේ දේවාලය පිහිටා ඇත. කදකුමරුන් අරක් ගත් ,නොයෙක් හාස්කම් පාන තැනක් ලෙස ද මෙය පිළිගෙන ඇත.ගම්පොල රාජධානි සමයට අයත් මෙය හෙළකැටයම්,චිත්‍ර කලාවෙන් යුක්ත ඉපැරණි දේවාලයක් ලෙස සදහන් කළ හැකිය.

   ඇම්බැක්ක දේවාලයේ ඓතිහාසික කතා පුවත

 දේවාලයේ ඉදිකිරීම් පිළිබදව කියැවෙන පුරාවෘත්තය රසවත් ය.ඇම්බැක්ක ග්‍රාමයට ආසන්නව රංගම ග්‍රාමයේ සිටි එක් බෙර වාදකයෙකුට වැළදී තිබූ කුෂ්ඨ රෝගය සුව කරදෙන ලෙසට රුහුණු කතරගම මහා දේවාලයට ගොස් භාර හාර වූ අතර ඔහු කතරගම ‌දෙවිදුන්ගේ ආශිර්වාදයෙන් සුවය ලබන ලදී.ඔහුගේ රෝගය සුවවීම නිසා වාර්ෂිකව රුහුණු කතරගම දේවාලයට ගොස් බෙර වයා කෘතගුණ අකුරටම ඉටුකර ඇත.පසු කලෙක මහලු වී එහි යාමට නොහැකි වේ යයි සිතා සිත් තැව්ලින් සිටියදී දිනක් කතරගම දෙවියන් සිහිනෙන් විත් “බිය නොවී ගමට යව.නොබෝ දිනකින් රුකකින් ලකුණක් පෙන්වා  මගේ අනුසස් පාමි.එවිට මඟුල් බෙර වයා බුහුමන් කරව”යනුවෙන් පැවසීය.පසු කලෙක වික්‍රමබාහු රජුගේ අගමෙහෙසිය වූ ‌ සෙනකඳ බිසෝ බණ්ඩාර දේවියට අයත් ඇම්බැක්කේ මල් උයනෙහි කටු පඳුරු කපා දමද්දි එහි තිබූ කදුරු ගසකින් රුධිර ධාරාවක් නිකුත් වී තිබේ.පසුව එම බෙර වයන්නා රජුට තමන් දුටු සිහිනය සැලකර සිටියේය.එවිට රජු එම ස්ථානයේ දෙවිවිමනක් බදු තෙමහල් පායක් කරවීය.එය ඇම්බැක්ක දේවාලය නම් විය.මෙය කරවූවා යැයි  සැලකෙන තෙවන වික්‍රමබාහු රජු පිළිබඳව “ඇම්බැක්කේ වර්ණනාව”කාව්‍යයේ මෙසේ දක්වා ඇත.

           “මෙලෙසින් දෙවියන් හට මුළුතැන්            බා

             නිරිදුන්හට සැල කළෝ විකුම්                   බා

            එවදන් සා රජතුම විය පෙම්                      බා

             මැතියන් සැම දෙන කරමින් සම්               බා ”

                           (ඇම්බැක්කේ වර්ණනාව 26 කවිය)

 

පුරාවිද්‍යාත්මක වැදගත්කම්

 

   ගෘහ නිර්මාණ ශිල්පය

ගම්පොල යුගයේ ගෘහ නිර්මාණ සම්ප්‍රදායේ ප්‍රෞඩත්වයේ වැදගත් කලා කෘතියක් ලෙස ඇම්බැක්කේ දේවාලය හැදින්විය හැකියි.මහනුවර කාලයට අයත් කලා කෘති අතර ද මේ තරම් සීග්‍ර දැව කර්මාන්තයක් සොයාගත නොහැකි වන්නේ මෙහි ගෘහ නිර්මාණයේදි භාවිත වී තිබෙන ලී කැටයම් නිසා ය.

පුරාණ විහාර සිතියමක භූමි සැලැස්ම පිළියෙල කිරීමේදි බොහෝවිට විහාර ගෙයට නුදුරින් දේවාලයක් ද ඉදිකිරිම චිරාගත සම්ප්‍රදායකි.ඇම්බැක්ක දේවාලය ප්‍රධාන ගොඩනැගිලි අටකින් සමන්විත ය.දේවාල මළුවෙන් පිට රිට්ටාගෙය හෙවත් සිංහාසන මණ්ඩපය පිහිටා තිබේ.අනෙක් ගොඩනැගිලි හත ම දේවාල මළුව තුළ දක්නට ඇත.මේ අතරින් මහා දේවාලය පිහිටි ගොඩනැගිල්ල ප්‍රධාන ගොඩනැගිල්ලයි.මේ කොටස වැටසිටින පිළිමගෙය හෙවත් දික්ගෙය නමින් හදුන්වයි.දෙවියන් වැඩසිටින ගර්භය මාළිගාව වන අතර එය සම්බන්ධ කොට ඉදිරියට නෙරා ඇති දිගටි හතරැස් ගොඩනැගිල්ල කොටස් 4කින් සමන්විත ය.ඒවා නම්,

1.     දික්ගෙය හා පිරිත් ගෙය

2.     මැද දික්ගෙය

3.     සඳුන් කුඩාම

4.     හේවිසි මණ්ඩපය

 දේවාලයට ඇතුල්වන ස්ථානයේ වාහල්කඩ නම් වූ ගොඩනැගිල්ලක් වන අතර එහි අලංකාර කණු දහයක් තිබේ.ප්‍රධාන ගොඩනැගිල්ල වන දික්ගෙහි ලී කණු 32ක් දක්නට ලැබේ.හේවිසි මණ්ඩපය කණු 32කින් යුක්තය.එහි දාග අඩි 52ක් වන අතර පළල අඩි 25කි.දැවමය ලී කණුවල ඇති අලංකාර ලී කැටයම් වලින් ද,ඉතා උස්ව පිහිටි වහලින් ද යුතු දික්ගෙය නරඹන්නන්ගේ ආකර්ශණය අනිවාර්යයෙන් ම දිනාගන්නා අංගයකි.

      මහා දේවාලය

මැද පිහිටි මහා දේවාලය හෙවත් වැඩ සිටින මාළිගය ලෙසින් හැදින්වෙන ගර්භගෘහය දෙමහල් වන සේ තනා ඇත.මුදුන් වහලය පියස්සකින් ආවරණය කර ඇත.පහත මාලයේ බිත්ති ආවරණය වීම සඳහා සතර පැත්තෙන් පියසි කොන් යොදා ඇත.පහත මාලයෙන් මුදුන් මාලය වෙන් කරනුයේ ලොකු දාදු කැටයක් මත ඊට ප්‍රමාණයෙන් කුඩා වූ දාදු කැටයක් තැබූ ආකාරයෙනි.මුදුන් මහලේ බිත්ති සතර වටා ඉදි වූ කණු මත මුදුන් පියස්ස නංවා ඇත.සතර වටේට දේවරූප සතරක් සවිකළ කොතක් මුදුන් පියස්ස මත රදවා ඇත.


  දිග්ගෙය

මෙය හේවිසි මඩුව යන නමින් ද හදුන්වනු ලැබේ.හුණු මැටියෙන් කළ දෙව් මැදුරට යාබදව මෙම දැව කණු ශාලාව පිහිටා ඇත.මෙම දෙවොල ලී කැටයම් අතින් පමණක් නොව ලීයෙන් කළ දේවාලයේ පියස්ස විශ්වකර්ම නිර්මාණයක සේ සළකා එහි අගය වැඩි වී ඇත.ඉක්මනින් වැසිවතුර ගලා යන ලෙස තනා ඇති වහල ‌සෙවිලි කිරීමට භාවිත කර ඇත්තේ “පෙති උළු”නමින් හැදින්වෙන විශේෂ උළු වර්ගයකි.වේයන්ගෙන් ආරක්ෂා වීම සදහා මෙම දිග්ගෙය අඩි දෙකහමාරක් පමණ උස් වූ අඩිතාලමක් මත තනා ඇත.මෙහි කැටයම් කණු 32ක් ඇත.

ඇම්බැක්ක දේවාලයේ කණු සඳහා යොදාගෙන ඇත්තේ ඉතාම දුර්ලභ ලී වර්ගයක් වන ‘ගම්මාලු ලී’වර්ගයයි.මෙහි කුළුණු විවිධාකාර කැටයම්වලින් අලංකාර වී තිබේ.කුළුණු හිසෙහි මුතුදැල් මෝස්තරයක් ද ,කුළුණු පාද අටපට්ටම් හෝ චතුරශ්‍රය පෙන්වන තැන නාගබන්ධන හෝ ගැටලියපත් මෝස්තරය හදුනාගත හැකිය.ඇම්බැක්කෙ හේවිසි මඩුවෙහි පේකඩ මත නැංවූ තලාඳ වල ද කැටයම් වැලකි.

 වාහල්කඩ

දික්ගෙයට මඳක් ඈතින් පිහිටා ඇති මෙය එක් මඩුලු සෙවණිය සහිත සිව්රැස් වාහල්කඩයකි.මෙම වාහල්කඩ චතුරශ්‍රාකාර හැඩයකින් යුතු ගොඩනැගිල්ලකි.මනහර කැටයමින් දැවකණු දහයක් මත තනා ඇති මෙම වාහල්කඩයේ පියස්ස ඇතුළුව මුදුන් වහල කේතු ආකාර හැඩයෙන් යුක්තය.මෙහි ද දිග්ගෙයහි මෙන් ඉක්මනින් වැසි දිය බැස යන ආකාරයෙන් වහල තනා ඇති අතර වහල සෙවිලි කිරීමට පෙතිඋළු භාවිත කර තිබේ.

දේවාලයට සම්බන්ධ අනෙකුත් ගොඩනැගිල

දේවාලයට වම් පසින් පිහිටි වී අටුව,අනෙකුත් ගොඩනැගිලි අතරින් විශේෂ ස්ථානයක් ගනී.ශ්‍රී වික්‍රම රජ සමයේදි ඉදිකරන ලද මෙම වී අටුව අද වනවිටත් ඒ අයුරින් ම පවතී.ගල් මත වරිච්චි බිත්තියෙන් ඉදිවී ඇති මෙම වී අටුව නිසාද  ඇම්බැක්ක දේවාලයට අපූරු ගාම්භීර පෙනුමක් එකතු වී ඇත.

ඇම්බැක්කෙ දේවාලයට නුදුරින් වූ වෙල්යායේ ගල්තලාවක් මත ඉදිකරන ලද පැරණි ගොඩනැගිල්ලක් ද වෙයි.අද මෙහි දක්නට ලැබෙන්නේ ගල් කණු පමණි.දේවාලය සමඟ ඍජු සම්බන්ධතාවක් නොදැක්වුව ද ඇම්බැක්කේ අම්බලම ලෙස හදුන්වන මෙම ගොඩනැගිල්ල තුළ ද,විවිද විසිතුරු කැටයම් රාශියක් දක්නට ලැබේ.දේවාලය ගොඩනගන්නටත් පෙර 4වන බුවනෙකබාහු රජතුමා විසින් ඉදිකර ඇති මෙම අම්බලම හුදෙක් රජතුමාගේ ප්‍රයෝජනය සඳහා යොදාගෙන ඇති බව සඳහන් වේ.

ආගමික සිද්ධසථානයක් වශයෙන් පමණක් නොව,ගෘහනිර්මාණ ශිල්පය පිළිබඳ කදිම ආදර්ශ රූපයක් වන ඇම්බැක්ක දේවාලය ශ්‍රී ලාංකීය කලා ශිල්ප ඥානයත් හෙළ කලා කරුවාගේ කෘතහස්ථ භාවයත් මුළු මහත් විශ්වයට ම කියා පාන කැඩපතක් යැයි කිව හැකි ය.

              

                 

 ඇම්බැක්කේ ලී කැටයම්

ඇම්බැක්කේ දේවාලය කලාකාමීන්ගේ අමන්දානන්දයටලක් වී තිබෙන්නේ එහි ඇති ලී කැටයම් නිසා ය.ප්‍රධානදේවාලයේ ඇති කණු 32ත්,වාහල්කඩයේ කණු 10ත්,අනෙකුත් ගොඩනැගිලිවල කණු සහ ගල් ටැම් ආදිය සරසා ඇත්තේ ලක්දිව අන් කිසිදු තැනක දක්නට නොලැබෙන තරමේ කැටයම් වලිනි.ඇම්බැක්කේ දේවාල කැටයම් ශිල්පියා ලෙස විශ්වාස කෙරෙන්නේ“දෙල්මඩ මුලාචාරීන්” ය.

  කැටයම් පුවරුව

·       වෘෂභ කුඤ්ඡරය

·       කිඳුරු කින්නර කැටයම



·       ගජසිංහ                                                     

·       සැරපේඬියා

·       ඇත්කඳ ලිහිණියා

·       නයි පූට්ටුව

·       මකර

·       භේරුණ්ඩ පක්ෂියා

·       අශ්වාරෝහක

·       මල් වර්ග

·       වෘක්ෂලතා

·       ජ්‍යාමිතික රූප

·       මල්ලව පොරය

·       කිසිඹි මුහුණ

·       ලී කෙළි ක්‍රීඩාව

·       ඔළිද කොළම්බ


මෙම කැටයම්වල මූලික ලක්ෂණ හා ඒවා අධ්‍යයනය කරන විට පෙනීයන්නේ ඇම්බැක්ක දේවාලයේ ලී කැටයම් යනු හෙළ කලාකරුවා සතු උසස් කලා කර්මාන්ත ,කලා කෞෂල්‍යන් මනාව විදහා දක්වන උත්කෘෂ්ට දේශීය කලා කෘතියකි.


✍️ශෂිනි දිල්හාරා  

 

 

 

Thappad

 කම්මුල් පහරක් නිසා දීගයක් දික්කසාදයක් දක්වා ගිය දුරක්..🤔🤔 Thappad"  එසෙත් නැත්තම් "කම්මුල් පහර" වසරෙ දුටු තවත් එක කාන්තාව ...