Monday, 2 November 2020

අහිමි පෙම

 


             අහිමි පෙම

ප්‍රේමය නම් හිමි විය යුතුම නැත

අනෙකා වෙනුවෙන් උණුවීම ද ප්‍රේමයයි

අනේක විදුලි ධාරාවන්

අහසේ ගැටෙන විට

දරාසිටින්නා සේ

දරාසිටීමද ප්‍රේමයයි

සිදුහත් යශෝදරා 

තරමට ම එක් නොවූ ප්‍රේමයක් 

එනමුදු හිමි වීම නොවූ කල 

බලාසිටීමද ප්‍රේමයයි...


පද:- ශෂිනි දිල්හාරා

Wednesday, 21 October 2020

අපේ කලාව රසවිදිමු

 කෝලම් නැටුම් 



ඓතිහාසික වටිනාකමක් දරන කෝලම් නැටුම් ශ්‍රී ලංකාවේ බස්නාහිර හා නිරිතදිග වෙරළ ආසන්නයේ ප්‍රචලිත වූ කලාවකි.මෙය වූ කලී දහනව වන සියවසේ මුල්භාගයේ පටන් පැවත එන්නක් බව ඉතිහාසය සාක්ෂි දරයි.ඉපැරණි ඉතිහාසයක් ඇති බව වෙස්මුහුණුවල ඇති අලංකාරය හා නිර්මාණාත්මක ලක්ෂණ දෙස බැලීමෙන් සනාථ වේ.මේ පිළිබඳව මානව විද්‍යා පර්යේෂණ වලින් හෙළි වී ඇත.පිළිගත හැකි සාක්ෂි අල්පය.මෙලෙස පිළිතුරු රහිත සංකීර්ණ නිර්මාණයක් බවට කෝලම් නැටුම් පත්වීමට තුඩු දුන් ප්‍රධානතම හේතුව ලෙසට පෙන්වා දිය හැක්කේ එහි අන්තර්ගතය වූ විශාල ප්‍රමාණයක් චරිත හා කතාවස්තු අන්තර්ගත වූ නිසාය.ඓතිහාසික ,දේශපාලනමය ,සංස්කෘතික හා සමාජීය අත්දැකීම් හා ජනප්‍රවාද ඇසුරින් කෝලම් නැටුම් පෝෂණය වූයේ කාලයාගෙ ඇවෑමෙනි.කෝලම්වල උපත පිළිබඳව මහා සම්මත බිසවට ඇති වූ දොළදුකක් ගැන ජනප්‍රවාදයේ සඳහන් වේ.එය පහත දැක්වේ..

වෙස්මුහුණු පැළදගෙන කරන නර්තන නැරැඹීමට මහා සම්මත බිසවට ඇති වූ බලවත් ආශාව සංසිඳවීමට දැනසිටි අයෙකු නොසිටියහ.මේ නිසා දිනෙන් දින ම බිසව පීඩාවට පත් විය.බිසවගේ මෙම තත්ත්වය දුරු කිරීමට පියවර ගත් සක්දෙවිඳු දෙව්ලොව කැටයම් කලාවට  අධිපති විශ්වකර්ම දිව්‍ය පුත්‍රයා කැදවා ඒ සදහා අවශ්‍ය වෙස්මුහුණු සහ ගීතයක් මනුලොවට ගෙන එන ලෙස අණ කළේ ය.සක් දෙවිඳුගේ අණ පරිදි දිව්‍ය පුත්‍රයා විසින් සපයන ලද වෙස්මුහුණු සහ ගීත පසුදින උදෑසන රාජකීය උද්‍යානයේදී හමුවි ය.මෙම ගීත ඉගෙනීමට රජුවිසින් නිකුත් කළ අණින් පසු වෙස්මුහුණු පැළද නර්තන රඟ දක්වන ලදී.

අධික ලෙස සිත් ප්‍රබෝධයට පත් බිසවගේ දොළදුක සන්සිඳුනි.සෑම කෝලම් මඩුවකදීම බිසව වේදිකාවට පැමිණෙන්නේ එකල තිබූ ජනප්‍රවාද සිහි ගන්වමිනි.ඇය වේදිකාවට පැමිණෙන්නේ සිය දොළදුක සංසිඳුවා ගත් අයුරු පසක් කර දීමට ය.මෙමඟින් එකල ලංකාවේ යටත් විජිතවාදී පසුබිම ද පිළිබිඹු වන අතර කෝලම් මඟින් ජනප්‍රවාදයම හුවා දැක්වීම සිදු නොකෙරේ .මෙම කෝලම් නාටකවල රජුට සේවය කරන අණබෙරකරු,ලියනාරච්චි,කොස්තාපල්,සොල්දාදුවන්,රෙදි සෝදන්නන් ,දිස්ත්‍රික් ප්‍රධානියා සහ මුදලි වැනි චරිත රාජ සභාව සූදානම් කිරීමට පැමිණෙති.ඉන්පසු මහ සම්මත රජතුමා සමඟ බිසව සැපත් වේ.ඒ අවස්ථාවේ රාජ සභාව රජ කමිටුව නමින් හැදින්වේ.යුවරජ,මැති හා ඇමතිවරු ද ඊට අයත් ය.මේ ප්‍රභූන් පිනවීමට සිංහ,රාක්ෂ හා නොයෙක් දේශීය ,විදේශීය චරිත සමාජයීය කතාන්දර ,ජාතක කතා ආදිය ඉදිරිපත් කෙරෙයි.ගැබිණි ස්ත්‍රියක් තමාට සිදු වූ අකටයුත්ත බඩදරු කෝලම නම් රංගනයෙන් ඉදිරිපත් කරයි.

ගැමි කතාවෙන් ගැමි ජීවිතයේ ඇති රස තොරතුරු හා රසවතුන් පිළිබඳව පිළිබිඹු වේ.අවසාන වශයෙන් රංගනයෙන් ඉදිරිපත් කරනු ලබන ජාතක කතාවෙන් බුදුදහමට අනුකූල දැහැමි ජීවිතයක අගය වටහාදෙනු ලබයි.මේ සියලුම අංගයන්  පසුපස සමාජයට වටිනා අර්ථවත් අර්ථයක් ගැබ්ව ඇත.එයින් එදිනෙදා ජීවිතය කෙසේද යන්න ප්‍රේක්ෂකයාට ඉදිරිපත් කෙරෙයි.ඒ සමඟ ම ඉන් ඔබ්බට යන පණිවිඩ රැසක් ද එමඟින් වෙයි.ගැමි ජීවිතය හා සම්බන්ධ සියලු දෙයින් ම සමාජයේ ඇති පරිසර විරෝධතාවද හෙළිදරව් වෙයි.අණබෙර කරුගේ චරිතය තුළින් නිරූපණය කර ඇත්තේ තමාගේ බිරිඳට පහර දෙන අද සමාජයේ පවතින මෙබඳු චරිතයකි.හේවා කෝලමේ හේවාත් නිරූපණය වූයේ මිනිසුන් තලා පෙලා ඔවුන්ට කරදර හිරිහැර කරන පිරිසක් ලෙසිනි.ජස ලෙංචිනා කෝලමේ ලෙංචිනා රූමත් කාන්තාවකි.ඒ නමුත් මහළු වූ ජසයාට ඇයව විවාහ කරදෙනු ලැබේ.ජසයා රජුට සේවට කළ නිසාත් දෙමාපියන්ට තම දියණියගෙන් නිදහස්වීමට අවශ්‍ය වූ නිසාත් ය.

ජසයාගෙ මහළු බව නිසා ම ඇගේ සිතෙහි ගම්මුලාදෑනියා කෙරෙහි ලෙන්ගතුකමක් ඇතිවීම විශ්මයට කරුණක් නොවේ.මේ හැරුණු විට අසරණ ගැමි ජනතාවගේ වතුපිටි,හරකාබාන ආදී සියලුම දෙයින් අයුතු ප්‍රයෝජන ලබාගන්නා වංචනික චරිත ද කෝලම් නාටකය තුළින් නිරූපණය කෙරේ.ලක්දිව පෘතුගීසි ,ලන්දේසි ,ඉංග්‍රීසින්ට නතුව පැවති යුගයට අදාල මෙහි එන චරිත තුළින් හා දෙබස් මඟින් එය මනාව පැහැදිලි වන අතර ඉන් උපහාසයද ජනනය වේ.

ගැමි ජීවන රටාවේ දුෂ්කරතාවයන් මතකයට නංවන මෙම සිදුවීම් මහාසම්මත රජු හා බිසව ඉදිරියේ රඟ දැක්වේ.සෑම කෝලම් මඩුවකදී ම මහසම්මත රජු සංකේතවත් කිරීමට නළු කීර්ති රජු පැමිණේ.කෝලම් නර්තනයේදී එහි ඇති චරිත තුළින් සමාජයට හරවත් පණිවිඩයක් ලබාදෙනු ලැබේ.මෙහිදී,

  •   සමාජ අසාධාරණකම් විවේචනයට ලක් වේ.
  • එදා පැවති යටත් විජිතවාදී පසුබිම අප රටට බලපා ඇති අයුරු නිරූපණය කෙරේ.
  • දැහැමි දිවි පෙවතකට ජනතාව කෙසේ නැඹුරුවිය යුතු දැයි ව්‍යංගයෙන් කියවේ.

කෝලම් මඩුවක් වන්නේ දැහැමි ජීවිතයකට පදනම් වන බෞද්ධ ජාතක කතාවකි.උපහාසාත්මක නාට්‍යයක සිංහල නොවන අයෙකු දෙබස්වලින් රස විදීමට තරමක් අපහසු ද ,චරිත නිරූපණයෙන් අර්ථය වටහා ගැනීමේ අපහසුව නොවේ.

කෝලම් මඩුවක ආරම්භක ජවනිකාව ලෙසට රඟමඩලට ප්‍රවිශ්ට වන්නේ අණබෙර කෝලමයි.අණබෙර කරුවන් රඟමඩලට තම දරුවන් සමඟ පිවිසේ.ඔහු සහ දරුවෝ උපහාසාත්මක රංගනයක නිරත වෙති.මේ අතර ඔහුගේ බිරිඳ වන නොංචි අක්කා පැමිණ කරන රංගයෙන්ද උපහාසාත්මක ස්වභාවයක් ඉස්මතු වෙයි.අණබෙරකරුගේ රාජකාරිය ඉටු වූවායින් අනතුරුව ඔහු තම දරුවන් සමඟ රඟමඩලෙන් නික්ම යයි.                                                                                                                                                                                     මීලගට රඟමඩලට පිවිසෙන්නේ ආරච්චි කෝලමයි.ගමේ ආරච්චි සහ ලියනප්පු පැමිණෙන මෙම ජවනිකාව හාස්‍ය දනවන අයුරින් නිර්මාණය කරන ලද්දකි.රජුගේත් බිසවගේත් පැමිණීම වෙනුවෙන් ඔහුට පැවරී තිබූ රාජකාරිය වූයේ කොපමණ පිරිසක් පැමිණ සිටිත් දැයි විමසා බැලීමටය.ආරච්චි සමඟ පැමිණෙන  ලියනප්පු විහිලුවට හා ස්ත්‍රී පක්ෂයට ලොල් වූ අයෙකි.මෙහිදී ලියනප්පු පැමිණ සිටින පිරිස ගණන් බලන්නේ හාස්‍යය උපදවන අයුරිනි.එනම් ගැබ්ගත් ස්‍ත්‍රීන්ගේ කුසයේ සිටින දරුවන්ද සමඟිනි.රාජකීයන්ගේ පැමිණීම ආසන්න වූ බැවින් ආරච්චි පැමිණ සිටින පිරිසට සන්සුන් වන ලෙස අණකර ලියනප්පු රඟමඩලෙන් නික්ම යයි. 

නොංචි අක්කා පිළිබඳව කියැවෙන කවියක්

කොංචි එක  වරු                    නේ                                          පුංචි වයසින් පසු             වන්නේ                                          කොංචි මා විසි                         නේ                                          නොංචි අක්කා එන්න එන්     නේ

කටේ දත් වැටෙමි                      න                                          කබත් කුණු කෙළ පෙරම්         න                                          ගතත් වෙව්ලා ගෙ                    න                                           නොංචි අක්කා ඒය දුවගෙ      න

ඔවුන්ගේ විකෘති වී ගිය මුහුණ ප්‍රේක්ෂකන්ට හාස්‍යය උපදවය.මේ අතර කාරිය කරවන රාළ ඔවුන්ගේ මුහුණුවලට සිදු වූයේ කුමක්දැයි ප්‍රශ්න කරයි.එවිට බ්‍රිතාන්‍යයන් සමඟ ගම්පොල  දී සිදු වූ සටනේදී පළිහ වෙනුවට මුහුණ ඇල්ලූ බවත්,එහිදී තුවාල වූ බවත් ඔවුහු පවසති.එසේම වූ කැපුම් නිසා ඇති වූ වේදනා තුනීකර ගැනීමට බෝගම්බර වැවේ මුහුණ ඔබා ගත් බව ඔහු පවසයි.එවිට කාරිය කරවන රාළ මුහුණේ ඇති කූඩැල්ලන් පෙන්වූ විට උපහාසාත්මකව ඒ කූඩැල්ලන් බව පවසයි.පසුව මුහුණට මුහුණ බැලූ විට සියල්ලන්ටම සිදු කරුණ වැටහේ.එවිට ඔවුන් චමත්කාර ජනකව යුද්ධ කළ අයුරු රඟ දක්වා බැහැර වී යති.

මීළඟට රංග සභාවට පැමිණෙන්නේ පේඩි කෝලමයි.ජසයා තම බෑනා වන සෙබරංචි සමඟ රඟමඩලට පැමිණේ.ඔහුගේ රාජකාරිය වනුයේ පාවඩ සහ උඩුවියන්,තිරරෙදි සකස් කිරීමයි.මදින් මද උපහාසය ද එක්කරමින් රංගන ඉදිරිපත් කරන ඔහුගේ බෑනා වන සෙබරංචි ද හවුල් කර ගනී.ටික වෙලාවකින් ඔවුහු  පාවඩ ඇතිරීමට ලෙන්චිනාද කැඳවා  ගනිති.ලන්චිනා තරුණ චරිතයකි.මේ අතරතුර මේ ස්ථානයට මුදලි පැමිණෙයි.තරුණ වයසේ පසුවූ ලන්චිනා සමඟ කුළුපග වීමට අවශ්‍ය වූ මුදලි තමා සමඟ පැමිණි හෙන්චප්පු රාජකාරියක් සඳහා පිටත් කරයි.මුදලිගේ අභිලාෂය දත් හෙන්චප්පු ගිය විගසම ආපසු පැමිණේ.නැවත වරක්‍ රැගෙන ඒමට පිටත් කරවන හෙන්චප්පු ක්ෂණයකින් රඟමඩලට පැමිණ මුදලිගේ නියම චරිතය අනාවරණය කරන අටියෙන් තමා අළුත උපන් ළදරුවකු දුටු බවත් එම දරුවාට මුදලිගේ රූපයට සමාන රූපයක් ඇති බවත් පවසයි.මෙය අසා අපහසුතාවයට පත්වන මුදලි වහා මාතෘකාව වෙනතකට යොමු කරයි.

ලෙන්චිනාගේත්,ජසයාගේත් නොපහත්කම් මොනවාදැයි මුදලි විමසයි.ඇය සිය සැමියාටත් බීමත්කම,සූදුවෙහි නිරත වන බව සහ සැමවිටම නිවසින් බැහැරව කාලය ගෙවන බව පවසයි.ජසයා මෙයට පිළිතුරු සපයමින් සිය බිරිඳ උකුළු මුකුළු පුරුෂයින් බොහෝ දෙනෙකු තම වසඟයට ගත් අයුරු පවසන අතර ඉන් එක් අයෙක් හෙන්චප්පු බව පවසයි.හෙන්චප්පු විසින් ජසයාට උපක්‍රමයක් යොදා කෙසේ හෝ තම දෝශාරෝපණයෙන් ගැලවේ.මුදලිගේ අණ පරිදි හෙන්චප්පු විසින් ජසයාට පහර දෙන ලබයි.අවසානයේ මුදලි ඔවුන් දෙදෙනාට සාමයෙන් සමඟියෙන් කල් ගෙවන ලෙස උපදෙස් දී රංග පිටියෙන් පිටත්වෙයි.

විවිධ ක්ෂේත්‍රවලට සම්බන්ධ අණබෙරකරු,රෙදි සෝදන්නා,ආරච්චි,ආරක්ෂක භටයින් සහ නිළධාරීන්ගෙන් සමන්විත කණ්ඩායම් මේ තාක් දුරට ඔවුන්ට පැවරී තිබූ යුතුකම් ඉටු කරමින්‍ රාජකාරියක් පිළිගැනීම සංවිධානය කළහ.

දෙපසින් පන්දම් දෙකක් ද සේසත්,චාමර ආදියෙන්ද ගෞරව පවත්වමින්,සියලුම ආරක්ෂාව සපයමින් රජතුමාගේ බිසවත්,ඇමතිවරුනුත් සභාවට සම්ප්‍රාප්ත වෙති.කාරියකරවන රාළ ඔවුන්ට පෙරටුව ගමන් කරන අතර නර්තන නැරඹීම සඳහා ඔවුහු අසුන් ගනිති.පේස කෝළමෙන් අනතුරුව මෙසේ රජතුමාගේත්,ඇමතිවරුන්ගේත් සිත් සතන් සනසවමින් සිංහ කෝලම රඟ මඩලට පිවිසේ.මෙම නැටුම් විචිත්‍රාකාරයෙන් ඉදිරිපත් කරයි 

මින් අනතුරුව රඟ මඩලට පිවිසෙන්නේ රාක්ෂ කෝලමයි.රාක්ෂයන් පැමිණෙන්නේ වෙස්මුණි රජුගේ අනුගාමිකයන් ලෙසය.ඔවුන් ඉදිරිපත් කරන දැකුම්කළු රංගනය බියෙන් හා හාස්‍යයෙන් ද වේලී පවතී.නාගයන් සිරස වටා ආභරණ මෙන් පැළද ලෝකාධිපති හාරකුස නර්තනයේ නියලේ.පසුව නාග රාක්ෂයා ද පැමිණේ.ඔහුගේ රංගනය ද ඉතා අලංකාර ලෙස සිදුකරයි.ඉන් අනතුරුව ගුරුළු රාක්ෂ පැමිණේ.

ශරීරයම සළුවලින් ආවරණය කොට ආභරණ පැළද හිසේ ඔටුන්නක් ද සහිතව විෂකුරු නාගයෙකු තුඬඟ රදවාගෙන නර්තනය සමඟ බියකරු රසාස්වාදයක් ලබා දෙන අතර,ගුරුළු රකුසා පියඹන රාජලියෙකුට සමාන වේ.මේ ලෙස කෝලම් මඩුව පූර්ණක,රත්නකූට,නාග රාක්ෂ යනාදී රාක්ෂ කෝලම් විසිහතරකින් සමන්විත වේ.

මීළඟට ජාතක කතා පොතේ නාට්‍යාකාරයෙන් ඉස්මතු කරන්නේ රළ දැක්වීම සිරිතයි.

පන්සිය පනස් ජාතක පොතේ කාතාවලින් ඉස්මතු කරන්නේ බුදුරජාණන් වහන්සේගේ පෙර ආත්මයන් පිළිබඳ සිද්ධීන්‍ ය.උන් වහන්සේ පාරමිතා පිරූ අයුරු මේ ජාතක කතාවලින් හෙලි වේ.ධර්ම,විනය දෙකටම අනුව ජීවිතය සකස් කරගැනීම පිණිස මේ ජාතක කතා රචනා කොට ඇත.

බෝධිසත්ව චරිතයක් වන මනමේ කුමරුට තමාගේ චපල බිරිඳ නිසා දිවි අහිමි වන අයුරු ධනුද්ධර ජාතක කතාව තුළින් හෙළි කරයි.මේ ජතක කතාව කෝලම් නාට්‍යකරුවන්ගේ අවධානයට යොමු වී ඇත.එහෙත් එම පුවතේයම් යම් තැන් වෙනස් කර ඇති බවද මෙහි සඳහන් කල යුතුය.' මනමේ ' යන නම ජාතක පොතේ නැත.වැද්දන් වෙනුවට එහි සිටින්නේ හොරු කණ්ඩායමකි.

තක්ෂිලාවේ දිසාපාමොක් ඇදුරුතුමාගේ ඉගෙනුම අවසන් කර විනීත ම ශිෂ්‍යයා බවට පත්ව සිටි මනමේ කුමරු ඇදුරුතුමාගේ දියණිය සරණපාවාගෙන තම රාජධානියට යන අතරමඟ මහා වනාන්තරයකට පැමිණෙති.මේ වනයේ වැදි පිරිසක් මුණ් ගැසිණි.කුසගින්නෙන් පීඩාවට පත්ව සිටි කුමරු මස් ස්වල්පයක් ඉල්ලාගෙන ඒම පිණිස බිසව යැවීය.වැදි දෙටුවෝඇයට අමු මස් දීම ගැන කුමරු අමනාප විය.ඒ අමු මස් නැවත ඔවුන්ටම දෙන ලෙස කුමරු අණ කළේය.

අමු මස් ආපසු යැවීම ගැන වැදි දෙටු කෝපයට පත් විය.මෙසේ කෝපයට පත් දෙටුවෝමේ පැමිණිල්ල රජුට ඉදිරිපත් කළේය.මේ සිද්ධියෙන් කෝපයට පත් වැදි රජු අනවසරයෙන් තම වනය මැදින් ගමන් කිරීම පිළිබඳව මන්මේ කුමරු සමඟ බහින් බස් විය.මේ අයුරින් රජ කුමරුගේත් වැදි රජුගේත් කෝපය ද්වන්ද සටනකට මුල පිරීමක් විය.මනමේ රජු අසිපත සමඟ වැදි රජු හා පොර බැඳීමට (අමු මස් ආපසු යැවීම ගැන) අපහසු බැවින් කොපුවක් සමඟ කඩුව තම විශ්වාසවන්ත තම බිරිඳට දුණි.මේ අවස්ථාවේ කුමරියට වැදි රජ කෙරෙහි ඇල්මක් ඇතිවිය.වැදි රජු හා පොර බැඳි මන්මේ රජු ඔහු බිම පෙරළා තම බිසවගෙන් කඩුව ඉල්ලීය.එවිට ස්ත්‍රියකගේ චපල ගති ඉස්මතු කරමින් ඇය කඩුකොපුව තම සැමියාටත්,කඩුව වැදි රජුට දුන්නාය.මෙය අවස්ථාවක් කරගත් වැදි රජු ඇසිපතින් ඇණ මනමේ රජු ජීවිතක්ෂයට පත් කළේය.

ඇය පැළද සිටි ආභරණ ආරක්ෂා සහිතව ගංතෙරෙන් එගොඩ ගෙන යාමට ඉල්ලාගත් වැදි රජ එය අවස්ථාවක් කර ගනිමින් ආභරණ ගෙන කුමරිය අතරමං කර පලා යයි.වැදි රජ එසේ කිරීමට හේතුව වූයේ තම ස්වාමියා මැරීමට තරම් චපල සිත් ඇති ඇයගෙන් තමාටද එවැනිම ඉරණමකට මුහුණ පෑමට සිදුවේ යන සිතුවිල්ලෙනි.මේ අතර ඇය වනයේ තනිව විලාප නගද්දී සක්දෙවියන්,මාතලේ දෙවියන් හා විශ්ව කර්ම යන දෙවිවරුන් පිළිවෙලින්න නරියෙකු,මාළුවෙකු,උකුස්සෙකු යන සත්වයින්ගේ වෙස්ගෙන මෙතැනට පැමිණෙති.නරියා මස් කැබැල්ලක් කටේ රඳවාගෙන ඒදණ්ඩක් මඟින් ගමන් කරද්දි දියේ යන මාළුවෙකු දැක ඒදණ්ඩ මත මස් කැබැල්ල තබා මාළුවා අල්ලා ගැනීමට දියට පැන්නේය.එවිට මස් කැබැල්ල උකුස්සෙකු පැහැරගෙන ගිය අතර නරියට දෙකම නැතිවී කුසගින්නේ සිටීමට සිදුවීම දුටු මනමේ බිසව නරියාට අපහාස කළේය.එවිට පිළිතුරු දුන්නේ " බිසව,ඔබ මට උපදෙස් දෙන්නේ ඔබ ගැන ඔබ සිතා බලන්න " යැයි උපහාසයට ලක් කරවමිනි.

අප දෙදෙනාගෙන් වඩා මෝඩ කුමරිය යැයි පැවසීය.කුමරියට පසක් වූයේ එවිටය.ජාතකයෙන් අනතුරුව ගරායකා පැමිණ එහි සියල්ලන්ටම ඇස්වහා,කටවහා වලින් සිදුවිය හැකි උපද්‍රවයන් දුරු කර කෝලම් මඩුව නිමාවට පත් කරවයි.         


සටහන:-ශෂිනි දිල්හාරා                                           

                      






Thursday, 15 October 2020

ප්‍රේමය


                               ප්‍රේමය


දුටුවෙමි ප්‍රේමයක්

පොරොන්දු රකින,

කවදාවත් අත්නොහරිනවා යැයි කියූ

අපූරු ප්‍රේමයක් 

"ක්ලීනික් පෝලිම" තුළ,

අතේ දැවටීගෙන තරුණ යුවලක් විලස

ඔහු හරි ආදරෙන් 

බිරිඳගේ බෑගය  කර දමාගෙන,

හරි අපූරුවට දෙන්නා බර කතාවක

සිතුනෙමි යමක්,

අද සම්මතය වී තිබෙන රාගික ප්‍රේමය 

නොවේ ඒ ප්‍රේමය,

ප්‍රේමයේ අරුත් වටහාගත් කුටුම්බයකි එය

සැවොම බලා සිටියේ ඒ ආදරය දෙස

ඇස් අහකට ගන්න හිත නොදුන්නේ ඇයි කියා,

මටවත් නොතේරේ...

 ඡායාරුවක් ගැනීමට මා අපොහොසත් විය..


පද - ශෂිනි දිල්හාරා 


Wednesday, 14 October 2020

කොරෝනා

කොරෝනා උබ හරි පුදුමයි බන්




හිස උදුම්මාගත් මිනිසුන්ට හරි හැටි ජීවිතය
තේරුම් ගන්නට ඉඩක් දුන්නු,
ආත්මාර්ථකාමීන්ට පාඩමක් උගන්නපු,
හැමදේම අතාරින්න දවසක් එනවා කියලා
අපේ මිනිස්සුන්ට දැනෙන්නට දීපු,
අල්ලගෙන ඉන්න හැමදේම දුරින් තියාගන්න 
පාඩමක් උගන්නපු,
ගෙදර අමතක කරපු එකාට 
ගෙදර ඉන්න ඉඩ තියපු,
 හැමදාම ගල් බෝතලේ තොලගාපු උන්ට
බොන්න සේසත නැතිකරපු,
දුරින් ඉදන් ආදරේ කරන්න ඉගැන්නු
ගස් කොළත් දවසක ඕනවෙනවා යැයි 
දැනෙන්නට ඉඩ සැලසූ,
කෑ ගහන ලොකු  කොයි එකාටත්
පොඩි මනුස්සයාගෙ බයම 
දැනෙන්නට දුන්නු,
අට පාස් නෑ  කියපු එකාගේ අගේ හොදටම දැනුනු,
කොරෝනා උබ හරි පුදුමයි බන්,
අපේ මිනිස්සුන්ට ජීවිතේ උගන්නපු..

පද- ශෂිනි දිල්හාරා


Monday, 12 October 2020

සිතුවිල්ල

         නිහඩ පෙම්වතිය


එකමත් එක හවසක අපි දෙන්නා
කාටත් හොරා රහසේ පෙම් සුව වින්දා
මතකද උබට මට එක පොරොන්දුවක් උනා
තනි නොකරමි කෙදිනකවත් මගෙ මැනිකා

හදවත පසාරුවෙයි නිතරම ඔබ සිහිවී
එනමුත් දුකක් නැත ඔබ සතුටින් යැයි සිහිවී
මා හැර ගියත් ඔබ වෙත දුක් නොම වේවී
සතුටින් ඉදපන් මැනික යමි ඔබගෙන් වෙන්වී

දෙනෙතින් වැටෙන කදුලැලිවල නිමක් නැති 
දිනයක් නොතිබුනි ඔබ හා එක්වී ඉද්දි
අහන් බැනුම්වල නම් ඉවරයක් නැති
එනමුත් ඉවසුවේ ආලය නිසාවෙනි

ලෝකය ඉදිරියේ උන්නත් හිනාවෙලා
මා පමණකි දන්නේ සිතෙ ඇති සංකා
මගෙ වේදනා පිටතට දෙනු නොහැකි නිසා
තනිවම විදවමි මතකය සිහිකරලා

හීන මැව්වෙ හැමදා ඔබ ලඟ ඉන්න
මා අතහැර ඔබ වෙන තුරුලක ඔන්න
හැමවිට සිතුවෙ සිරාකොක්ක ඔබ වෙන්න
සරසවි මෑණියනි මම තනි වී ඔන්න

තල්වැට දිහා බලන් ඉදිමි අද තනිව
ජිම් කැන්ටිමත් තනි වී දැන් අප නැතිව
මී අඹේ ලඟින් යනවිටදී ඔබෙ සුවඳ
දැනේවි මැනික හැමදාමත් උබෙ දෝණිට

දුක නැත හිතේ කොතැනකවත් ඔබ වෙනුවෙන්
ඇත මට හීන ගොන්නක් මව්පියො වෙනුවෙන්
සැබෑ කරන්නට මම ගත්තෙමි අදිටන්
අරඹමි ජීවිතය අලුතෙන් අදින් පටන්

පද රචනය- ශෂිනි දිල්හාරා









Sunday, 11 October 2020

අපේ ම දෑතින් හැඩවෙන වෙස්මුහුණ

මා ඔබට කලින් දවසෙ ගෙන ආවේ අපේ වෙස්මුහුණු සම්ප්‍රදාය ගැන සහ මෙරට භාවිත කරන වෙස්මුහුණු පිළිබඳවයි .මා එදා ප්‍රකාශ කළා වෙස්මුහුණු ගැන තවත් තොරතුරු බොහොමයක් තියනවා කියලා..ඉතින් අපි අද ඒ පිළිබඳව කතා කරමු. අපි දකින වෙස්මුහුණු හැඩවෙන්නෙ කොහොමද කියලා තමයි අද මේ ලිපිය ඔබවෙත ඉදිරිපත් කරන්නෙ .(ඡායාරූප උපුටා ගැනීම අන්තර්ජාලයෙන් )

වෙස්මුහුණු  කලා කර්මාන්තය ශ්‍රී ලංකාවේ පහතරට ප්‍රදේශයේ දැකිය හැකි ය.පහතරට ප්‍රදේශයේ මිරිස්ස,අම්බලන්ගොඩ ,බෙන්තර ආදී ප්‍රදේශවල වඩාත් ප්‍රචලිත ය.මේ අතරින් අම්බලන්ගොඩ වෙස්මුහුණු සඳහා ඉතාමත් ප්‍රසිද්ධ නගරයක් ලෙස හැදින්විය හැකියි.විදේශීය සංචාරකයන් අතර ද මෙම ප්‍රදේශය ඉතාමත් ජනප්‍රිය වී තිබේ.විවිධ අලංකාර වූ වර්ණවලින් හැඩගැන්වෙන වෙස්මුහුණ විදේශිකයන් අලෙවිය සඳහා ඇද බැද ගැනීමට සමත් විය.වෙස්මුහුණු වර්ණ කිරීමට බොහෝවිට යොදාගනු ලබන්නේ ස්වභාවික වර්ණයන් ය.වෙස්මුහුණු නිර්මාණය කිරීම ඉතාම සංකීර්ණ කාර්යයක් වේ.වෙස්මුහුණු කැපීමේදී බොහෝ දුරට කදුරු ලීය උපයෝගි කරගන්නා අතර මෙම ලීය ඉතා සැහැල්ලු මෙන් ම කැටයම් කිරීමට පහසු ලීයකි.එකල කලාකරුවන් වෙස්මුහුණු කැපීම සඳහා පාවිච්චි කළ ආයුධ වැඩි වශයෙන් වෙනස් වී නැත.නමුත් දැනට පාවිච්චි කරන ඒවා ඊට වඩා තත්ත්වයෙන් උසස් ය.

එකල වෙස්මුහුණු කැපීමට භාවිත කළ ආයුධ

  • දඩු අඬුව
  • බංඩි කියත ,හරස් කියත,අත් කියත,දුනු කියත
  • අත් පොරොව
  • එක් එක් ප්‍රමාණයේ පැති නියන්,බොකු නියන්
  • අත්කොළුව
  • වතුර ගල,තෙල් ගල 
මැනීමේ උපකරණ 

  • කෝදුව
  • කවකටුව
  • මට්ටම් ලෑල්ල 
  • ලඹය
වෙස්මුහුණු මැදීමට අවශ්‍ය කළ දේවල්

  • මත්ස්‍යයින්ගේ හම්
  • දෙල් සවරම්
  • මොට දැලියා 
සායම් කිරීමට භාවිත කළ දේවල්

  • වැටකෙයියා මුල් සහ සත්ව කෙඳිවලින් සාදාගන්නා ලද පින්සල්

ස්වාභාවික සායම් වර්ග

  • අල්ලියාදු
  • පාෂාණ වර්ග
  • ගස්වල පොතු,කොළ,මල් ආදිය
සායම් දියකිරීමට භාවිතා කළ දේවල්

  • දොරණ තෙල් 
  • හල් දුම්මල
වෙස්මුහුණු තැනීම සඳහා කදුරු ලීය සහ රුක් අත්තන ලී භාවිත කරනු ලබයි .කල් පැවැත්ම අතින් වෙස්මුහුණු සෑදීමට වඩාත් සුදුසු වන්නේ,වෙල් කදුරු ය.එවැනි ලී වලින් නිම වූ වෙස්මුහුණ බර අඩු නිසා මෙය පැළද නර්තනයේ යෙදීම පහසු වේ.එසේම වෙස්මුහුණ සාදන්නේ මෙම කලාව පිළිබද දැනුමක් ඇති පුද්ගලයන් ය.නාට්‍ය වල හැගීම්,භාව වලට අනුව ඔවුන් වෙස්මුහුණු නිර්මාණය කරයි.එසේම තවත් විශේෂ කරුණක් වන්නෙ මෙම ශිල්පීන් වෙස්මුහුණු නිර්මාණය කිරීමට බොහෝ සේ ජ්‍යෝතිෂ්‍ය විස්වාස කරයි.ඔවුන්ගේ දෑතින් නිර්මාණය වන මෙම වෙස්මුහුණුවල කල්පැවැත්මට එම විශ්වාස ,චාරිත්‍ර  ඉවහල්වන බව ඔවුන්ගේ විශ්වාසයයි .

වෙස්මුහුණු නිර්මාණය කිරීමේදී මුලින්ම සිදු කරන්නේ  අවශ්‍ය ගස කපා ගැනීමයි.මෙය සිදුකරනු ලබන්නේ ද චාරිත්‍රයකට අනුකූලවයි.අවපක්ෂයේ 3,4,5 යන තිථිවලින් එක් තිථියකට ගසක් කපා ගැනීම සිදුකරන අතර එම ගස බිම දමන්නේ දකුණු දිශාවට ය.අපේ සම්ප්‍රදායේ ' දකුණු ' දිශාව සුබ ලකුණක් ලෙස සලකයි.ඒ අනුව මෙහි මුල් ම චාරිත්‍රයේදී ද එය යොදාගන්නේ එනිසාවෙන් බව මට සිතෙන කරුණකි.ගස කැපීමෙන් දින දෙකක් ,තුනක් පමණ ගිය පසු වෙස්මුහුණ කැපීමට අවශ්‍ය ප්‍රමාණයට ලී කොටය කපාගෙන කොට කෑල්ල මට්ටම් කරගනී.ඊට පසු පුර පක්ෂයේ පස්වන තිථියට කලින් සිද්ධි යෝගයකින් හෝ අමෘත යෝගයකින් බදාදා ,බ්‍රහස්පතින්දා හෝ සිකුරාදා දිනක ශුභ හෝරාවකින් ලී කොටයේ ඇස්ස කපා ඉවත් කර කොට කැබැල්ල ඔපමට්ටම් කර ගනී.මෙසේ සකස් කරගන්නා ලී කොටය තමන් නිර්මාණය කිරීමට සූදානම් වන මුහුණේ සැකිල්ල අගුරුවලින් සටහන් කරනු ලැබේ.එසේ මුහුණේ සැකිල්ල ලකුණු කර ගැනීමෙන් අනතුරුව ලීය ඉතා හොදින් පදම් කර ගැනීමට දුමේ දමා දුම් ගස්සවා ගනී.අනතුරුව මඩු හෝ තලපත් රළු සමකින් මැද,පසුව කොට කිඹුලා,මොට දැලියා වැනි බූව සහිත කොළවලින් හෝ දෙල් සවරම්වලින් හොදින් මැදගනු ලැබේ.වර්තමානයේ වැලි කඩදාසිවලින් මැද ගනු ලබයි .වෙස්මුහුණේ මතුපිට සම්පූර්ණයෙන් ම සුදු මකුළු තට්ටියක් තවරා ගනී.මෙය 'අල්ලියාදු කිරීම'නමින් හදුන්වයි.විශාල වූ වෙස්මුහුණු වල රැවුල්,දත්,කන් ආදි විවිධ අංග වෙන වෙනම ලී වලින් කපා සවිකිරීම සිදුකරයි.ඉන් පසු කහපාට තවරා දොරණතෙල් වැඩිපුර යොදාගනිමින් ඉතා සියුම් රතු රේඛාවලින් නැවතත් දොරණ තෙල් ඉටි සමඟ උණුකර සාදාගත් වලිත්තිය සහ හල්දුම්මල වලිත්තිය ද යොදා වෙස්මුහුණේ අලංකාර කටයුතු නිමා කර ගනී.වෙස්මුහුණේ සැරසිලි සඳහා මේ ශිල්පීන් විසින් සාම්ප්‍රදායික මෝස්තර යොදාගනී.ඒ අනුව ලිය වැල,ගිනිදැල්ල,කතිරමල,කුන්දිරික්කන්,පලාපෙති මල් මෝස්තර බහුලව යොදාගනී.වර්තමානයේ නව මෝස්තරවර්ග යොදගනිමින් වෙස්මුහුණේ අලංකාරය තව තවත් වැඩි කරයි.වර්ණ කිරීම සඳහා වැටකෙයියා මුල් සහ සත්ව කෙඳිවලින් පින්සල් නිමවාගත් අතර පැරණි සිතුවම් ඇදීම සඳහා භාවිත කළ ස්වාභාවික අමුද්‍රව්‍යවලින් තනාගත් වර්ණ ගත් අතර රතු,කහ,කළු වැනි වර්ණ වැඩි වශයෙන් යොදාගනී.වෙස්මුහුණු වල දත් සඳහා බෙලිකටු සහ ඇස් සඳහා වීදුරු කැබලි ද ,ඇස්බැමි සඳහා වඳුරු සම් ද,හිසකෙස් සඳහා වර්ණ කරන ලද නියඳ කොළ,වැටකේ මුල් වැනි දෑ යොදා ගනී. වෙස්මුහුණකින්  නිරූපණය වන චරිතය එම වෙස්මුහුණ තුළින් ප්‍රතිනිර්මාණය වීම අත්‍යවශ්‍ය දෙයකි.එවැනි නිර්මාණයක් කිරීමට ශිල්පියෙකුට හොද පලපුරුද්දක් මෙන්ම දීර්ඝ කාලයක් අවශ්‍ය වේ.මේ නිසා වර්තමානයේ වෙස්මුහුණු බිහිවීමේ අඩුබවක් දැකගත හැකිය.

වෙස්මුහුණු වර්ණ ගැන්වීම

සාදාගන්නා ලද වෙස්මුහුණේ වර්ණ ගැන්වීමද සිදු කරනු ලබන්නේ චාරිත්‍රයකට අනුවය.වෙස්මුහුණු නිර්මාණය කර වර්ණගන්වන පුද්ගලයා 'සිත්තරේ' ලෙස හදුන්වයි .පළමුවෙන් ම වෙස්මුහුණේ ගල්වන වර්ණය ' අල්ලියාදු'ලෙස හදුන්වනු ලැබේ.එය සකස් කරනු ලබන්නේ කිරිමැටි හෝ මකුලවලින් පෙරා ගැනීමෙනි.වෙස්මුහුණ වර්ණ ගැන්වීම සඳහා අතීතයේ යොදාගත්තේ ස්වාභාවික වර්ණයන් ය.ඔපදමන ලද වෙස්මුහුණේ මූලික වර්ණය ලෙස කහ පැහැය ආලේප කරනු ලබයි.ඉන්පසු පූර්ණ වර්ණය ආලේප කරනු ලබයි.කහ පැහැය සාදා ගැනීමට හිරිගල් ද,රතු වර්ණය සඳහා සාදලිංගම් ද ,කොල පැහැය හා දම් පැහැය සාදා ගැනීමට ගස්වල කොළඅතු ද යොදා ගන්නා ලදී.දොරණ තෙල් උණුකර දුම්මල සමඟ මිශ්‍රකර ආලේප කිරීමෙන් වෙස්මුහුණේ දිස්නයට සේම ගල්වන වර්ණවල ආරක්ෂාව සඳහා ද යොදාගනී.මෙහිදී මුහුණේ වූ රේඛාවන් ඇඳීමට දොරණ තෙල් වැඩිපුර යෙදූ තුනී වලිච්චියක් සාදාගනු ලබන අතර,දොරණ තෙල් හා හල්දුම්මල සමව යොදා සාදාගත් වලිච්චිය සායම් ආලේප කිරීමට ද එහි වර්ණයන්ගේ ආරක්ශාවට හල්දුම්මල වැඩිපුර යෙදූ ඝන වලිච්චියක් ද යොදා ගනු ලබයි.වෙස්මුහුණේ වර්ණ ගැන්වීමේදි චරිතයේ ස්වභාවය ,ස්ත්‍රී පුරුෂ භාවය,දේහ ලක්ෂණ ආදී කරුණු කෙරෙහි සැලකිලිමත් වේ.දේව චරිත හා ආධ්‍යාත්මක වශයෙන් ඉහළ චරිත නිරූපණය කරන වෙස්මුහුණුවලට ලා රතු,තැඹිලි ,කහ,සුදු වැනි පාට ගෞරව වර්ණ ලෙස භාවිත කරනු ලබයි.එසේම අලුතෙන් ම නිර්මාණය කරන ලද වෙස්මුහුණු පළදින විට එහි වස්දොස් යෑම සඳහා පිරිත් පැන් ඉසීම සිදුකරනු ලබයි.මෙය අපගේ සංස්කෘතියේ සුබ කටයුත්තකදී සිදු කරන චාරිත්‍ර විදියක් ලෙස සඳහන් කල හැකියි.

මේ ආකාරයට නිර්මාණය වන අපේ වෙස්මුහුණු කලාව ඉහළ පිළිගැනීමකට ලක් වී තිබේ.මිරිස්සේ ශ්‍රී සුනන්දාරාමයේ වෙස්මුහුණු එකතුවක් ඇත.පොල්වත්තේ එම්.එච්.ගුරුන්නාන්සේගේ වෙස්මුහුණු එකතුව එතුමාගෙන් පසුව ඔහුගේ පවුලේ අය සතුව පවතී.වෙස්මුහුණු කැපීම අපේ පැරැන්ණෝ අතින් සිදුවූයේ හුදෙක් නියනේ හා අතකොළුවේ හරඹයක් ලෙසින් නොව,අප ජීවත්වන පරිසරයේ සංස්කෘතික රටාවට ආවේණික ගැඹුරු දර්ශනයක පිහිටීමෙන් ලද අත්දැකීම් ලෙසිනි.මෙම සංස්කෘතික උරුමය නිසා අපේ රටට විශාල වශයෙන් ආර්ථික වටිනාකමක් ලැබී ඇත.එය බටහිර රටවල ඉතා දුර්ලභ අත්කම් භාණ්ඩයක් ලෙස වෙළදපොලේ ප්‍රසිද්ධියක් ලබා ඇති බැවින් එමඟින් අප රටට වැඩි විදේශ විනිමයක් ලබා ගැනීමට හැකි වී තිබේ.වෙස්මුහුණු නිර්මාණය කිරීමට සහභාගීවන්නන් ද සැලකිය යුතු ජාතික සම්පත් බව අප තේරුම් ගත් යුතු ය.

මෙම කර්මාන්තය අදවන විට විශාල ගැටලු රාශියකට මුහුණ පා ඇත.මෙය සංකීර්ණ තත්ත්වයකි.මේ සඳහා යොදාගන්නා අමුද්‍රව්‍ය ලබා ගැනීමට ඇති දුශ්කරතාවයන් විශේෂයෙන් බලපා තිබේ.එනම් වෙස්මුහුණු නිර්මාණයට කදුරු ලී පමණක් යොදාගන්නා අතර එම ගස සොයාගැනීම මේ වන විට අසීරු වී ඇත.මේ නිසා නිෂ්පාදකයන්ට බොහෝ ගැටළු හා අපහසුතාවලට මුහුණ දීමට සිදු වී ඇත.එසේම වෙස්මුහුණු වර්ණ කිරීමට යොදාගන්න වර්ණ හා අනෙකුත් ආලේපනවල මිල අධික වී තිබීම නිසා එම ගැටලුවද අදවන විට මෙම කර්මාන්තය සඳහා බලපා ඇත.වාණිජ ආර්ථිකයේ රැල්ලට හසු වූ අපගේ වටිනා කලාත්මක නිර්මාණවල වටිනාකම ,අනන්‍යතාවය හා ගුණාත්මක භාවය රැක ගැනීමට අසීරු වී ඇති මෙම අවස්ථාවේ වෙස්මුහුණු වැනි නිර්මාණ අප සතු ජාතික දායාදයක් වන අතර අපගේ ජාතික අනන්‍යතාව හා සංස්කෘතික උරුමයන් සංකේතවත් කරන ප්‍රධාන සාධකයක් ලෙස පෙන්වා දිය හැකිය.

 තවත් දවසක හමුවෙමු ...


-ශෂිනි දිල්හාරා-


Friday, 9 October 2020

සිංහල වෙස්මුහුණු කලාව

 


වෙස්මුහුණු කලාව

ඇත්තටම වෙස්මුහුණු කියන්නේ  මොනවා ද?මේ වන විට ඔබ වෙස්මුහුණු එකක් හෝ පළදලත් ඇති․අපි පුංචි කාලේ වෙසක්‚පොසොන් තොරණ බලන්න ගිහින් වෙස්මුහුණක් ගෙදර අරන් ඇවිත් නංගි‚මල්ලි‚යාළුවෝ බය කරා ඔබට මතක ද?ශාන්තිකර්ම‚තොවිල් වලදී වෙස්මුහුණු පැළදගෙන නර්තනයේ යෙදෙනවත් ඔබ දැකලා ඇති․ඒත් ඔබ සිතුවා ද වෙස්මුහුණු කලාව යනු  ලෝකය ම පිළිගත් අපේ ම සංස්කෘතිකාංගයක් බව․මෙතැන් පටන් මා ඔබට ගෙන එන්නේ අපේ සාම්ප්‍රදායික වෙස්මුහුණු කලාව පිළිබඳ තොරතුරු යි․       ශ්‍රී   ලංකාවේ පහතරට ප්‍රදේශයට ආවේණික වූ වෙස්මුහුණු කලාව කවදා කෙසේ ආරම්භ වූවා දැයි කිව නොහැකි වුවත් දීර්ඝ කාලයක් තිස්සේ විනෝදාස්වාදයට මෙන් ම උපදේශකත්වයට සාම්ප්‍රදායික ලෙස වෙස්මුහුණු යොදාගෙන ඇත․එසේ ම කෝලම් නාට්‍ය සංදර්ශන‚ශාන්තිකර්මවලදීත්වෙස්මුහුණු යොදාගෙන ඇති බවට අතීතය සාක්ෂි දරයි․ වෙස්මුහුණු කලාව ගැන සඳහන් කරන විට‚මෙය සිංහල ජනතාවගේ සාම්ප්‍රදායික කලාවකි․මෙය උඩරට‚පහතරට‚සබරගමු ආදි නර්තන සාම්ප්‍රදායන් හා සබැදි ය․

අපේ මුතුන් මිත්තන් ලෙස සැලකෙන වැදි ජනතාව සමඟ ද මෙම වෙස්මුහුණු බැඳීපැවතුණු බව ඔවුන්ගේ ඉතිහාසය විමසීමේ දී පෙනීයන කරුණකි․ඔවුන්ගේ පූජා ආදිය සිදුකිරීමේ දී ඔවුන් විසින් තමාගේ ශරීරය හා මුහුණ වර්ණ කරගත් බවට ඉතිහාසය සාක්ෂි දරයි․

අපේ ජනශ්‍රැතියේ වෙස්මුහුණු බිහිවීම පිළිබඳව අපූරැ සදහනක් දැකවේ․එය නම්‚මහ සම්මත රජ්ජුරුවන්ගේ බිසවට නාට්‍ය දැක සිනාසීමට දොළදුකක් ඇතිවිය․ එය සංසිදුවීමට විශ්වකර්මයා ලවා සක් දෙවිදුන් විසින් වෙස්මුහුණු හා කෝලම් නාට්‍ය නිර්මාණය ලද බව සඳහන් වේ․වෙස්මුහුණු බොහොමයක් මෙම කෝලම් නාට්‍ය හා සම්බන්ධ වේ․

එදා අප ගෞතම බුදුරජාණන් වහන්සේ මාරයා පරාජය කරන අවස්ථාවේ ද‚දසමාර සේනාවක් උන්වහන්සේ සමඟ යුද්ධයට පැමිණි බව සඳහන් වේ․එසේ පැමිණි මාර සේනාව එකෙකුට එකෙක් වෙනස් ආකාරයෙන් වෙස්ගත් බව ද පැහැදිලි ය․එසේ ඔවුන්ගේ මුහුණු ඇර අනෙක් අංගෝපාංග මනුෂ්‍ය ස්වරූපයෙන්‚මුහුණේ ස්වරූපය වෙනස් කර ගන්නට ඇතැයි අනුමාන කළ හැකි ය․

එපමණක් නොව‚තවත් මූලාශ්‍රයක සඳහන් වන්නේ රාවණා රජු ද වෙස්මුහුණු යොදාගෙන සතුරන් පරාජය කළ බවයි․

වර්තමානයේ දී නාග‚රාක්ෂ‚මරු රාක්ෂ වැනි රාක්ෂ මුහුණු පැලද නැටුම් ඉදිරිපත් කරන ශිල්පීහු ද ශාන්තිකර්මවල නැටුම් ඉදිරිපත් කරන ශිල්පීහු ද මිනිසුන් ලෙස නැටුම් ඉදිරිපත් කරන්නන් ද වෙස්මුහුණෙන් හා ඇඳුම් පැළදුම්වලින් පමණක් ස්වරූපය වෙනස් කරති‚පාරම්පරිකව පවත්වාගෙන එන කලාවක් ලෙස වෙස්මුහුණු කලාව සැලකේ‚ 

වෙස්මුහුණේ බියකරු පෙනුම වැඩි දියුණු කරනුයේ නැටුම්කරු වෙස්මුහුණු පැළද ගයන විවිධ වූ ගීත‚දීර්ඝ වූ යාගහෝම ඉදිරිපත් කිරීමෙනි․යකුන් සහ ප්‍රේතයන් පළවාහැරීම ඈත අතීතයේ ගම්බද පෙදෙස්වල පැවති දුර්භික්ෂ‚රෝග බියවලට ප්‍රධාන හේතුව වශයෙන් ගම්වැසියන් විශ්වාස කලේ යකුන් හා ප්‍රේතයින්ගේ බලපෑම ප්‍රාග් ඓතිහාසික යුගයේ සිට වෙස්මුහුණු පැලදි නැටුම්‚ගැයුම් ‚අවමංගල්‍ය උත්සව සහ දරුඵල ලබාගැනීම උදෙසා යොදා‌ගෙන ඇත․

වෙස්මුහුණු වර්ග

සැහැල්ලු‚කල්පවතින ලී වර්ගයක් වන වෙල්කදුරු සහ රුක්අත්තන යන ලී වලින් වර්තමානයේ වෙස්මුහුණු නිම වේ․ශ්‍රී ලංකාවේ වෙස්මුහුණු කලාව විවිධ සංස්කෘතීන් නිර්මාණය කරන අතර මෙය ආසියාවේ සංස්කෘතිය ඔප් නැංවීමට මහගු වූ දායකත්වයක් ලබාදෙන බව කිව හැකිය․ලංකාවේ භාවිතාවන වෙස්මුහුණු වර්ග කීපයකි․

සන්නි වෙස්මුහුණු

කෝලම් වෙස්මුහුණු

රාක්ෂ  වෙස්මුහුණු

සත්ව වෙස්මුහුණු

යක්ෂ වෙස්මුහුණු

මිත්‍යා වෙස්මුහුණු

මනුෂ්‍ය වෙස්මුහුණු

පාලිය වෙස්මුහුණු

දේව වෙස්මුහුණු

මේ අතරින් ශ්‍රී ලංකාවේ බහුලව භාවිතාවන වෙස්මුහුණු වර්ග දෙකක් ලෙස සන්නි වෙස්මුහුණු හා කෝලම් වෙස්මුහුණු හැදින්වීමට පුලුවන්․මේවා වැඩිපුර ම භාවිත කරන ලද්දේ ශාන්තිකර්මවලදී ය․

කෝලම් වෙස්මුහුණු

කෝලම් වෙස්මුහුණු භාවිත කරනු ලබන්නේ හාස්‍ය ජනිත කරවීම උදෙසා ය․සමාජයේ ඇති විවිධ චරිත උපහාසයට ලක් කිරීමත් ‚අධිරාජ්‍ය පාලනය උපහාසයට ලක්කිරීමත්‚කෝලම් නාට්‍ය සම්ප්‍රදාය භාවිත කරනු ලබයි․කෝලම් වෙස්මුහුණු කලාව කැට වෙස්මුහුණු සහ රාක්ෂ වෙස්මුහුණු ලෙස උප කොටස් දෙකකින් යුක්ත වේ․

කැට වෙස්මුහුණු :- කැට වෙස්මුහුණු ලෙස සැල‌කෙන්නේ මිනිස් මුහුණට සමාන ප්‍රමාණයෙන් කුඩා වෙස්මුහුණු යි․ජසයා සහ ලෙංචිනා කෝලම් මීට උදාහරණ ලෙස දැක්වීමට පුළුවන්․

රාක්ෂ වෙස්මුහුණු :- මෙම වෙස්මුහුණු නිවෙස්වල තබාගැනීමෙන් වාසනාව උදාවන අතර ආරක්ශාව ද සැලසෙන බව ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය යි․ඇස්වහ කටවහ දෝශ සහ රෝගවලින් ද ආරක්ශාව සැලසෙන බව අපේ පැරැන්නන්ගේ අදහසයි․පහතින් සඳහන් කර ඇත්තේ ඒ වගේ වෙස්මුහුණු කීපයක්․


ගුරුළු රාක්ෂ

ගුරුළු රාක්ෂ මිත්‍යා සත්වයෙක් වන අතර නාගයින්ගේ දෂ්ට කිරීම්වලින් ආරක්ශාවීමට ගම්වල මෙම වෙස්කෝලම් නැටුම නටනු ලබයි․විශ්ණු දෙවියන්ගේ වාහනය ලෙසත් ගුරුළා සැලකේ․

නාග රාක්ෂ

ගුරුළු රාක්ෂ හා ප්‍රතිවාදී කෝලම් නැටුමට මෙම වෙස්මුහුණ යොදාගනී․නයිපෙන හතකින් සමන්විත මෙම වෙස්මුහුණ ලාංකික නිවෙස්වල ඔබ දැක ඇත․මෙම වෙස්මුහුණ නිවසේ තබාගැනීමෙන් සියළු අනතුරුවලින් වැලකී සිටිය හැකිබව විශ්වාස කෙරේ․

මයුර රාක්ෂ

මොණරකුගේ හැඩතලවලින් යුතු මෙම වෙස්මුහුණ සාමය‚සතුට‚සෞභාග්‍ය උදාකර ගැනීමට නිවෙස්වල තබාගනී․

ගිනි රාක්ෂ

සතුරු කරදර මගහැරී නිවසට සාමය හා මිත්‍රත්වය උදාකරන බව මෙමඟින් සංකේතවත් කෙරේ.

ගරා යක් මුහුණු

ඇස්වහ කටවහ දෝශ මගහැරීමට මෙම ගරා යකුන්ගේ වෙස්මුහුණ නිවෙස්වල එල්ලා තැබෙනවා․කෝලම් නැටුම්වල එක් නර්තන අංගයක් ලෙස ගරා යක් නැටුම හැඳින්විය හැකියි․

යක්ෂ වෙස්මුහුණු

පෙර ඡන්මවල දී කළ පාපකර්ම හේතුවෙන් යකුන්ට හිමිවන්නේ පහත් තත්ත්වයකි.මිනිසුන් බිය ගන්නා හා යකුන් මිනිසුන්ට ආරූඪ වීමෙන් මිනිසුන් ලෙඩකිරීමේ අපූරු බලයක් මොවුන්ට ඇත.යකුන් පස්දෙනෙකු මෙහිදී දැක්විය හැකියි.

කළු යකා :- කුඩා දරුවන් හා ගැහැණු පක්ෂය රෝගාතුර කරවයි.එමෙන් ම තරුණ අයට රාග අධික සිහින දැකීමට ද මොහු දක්ෂ යි.

රීරි යකා :- ලේ ආශ්‍රිත රෝග සෑදීම මොහුගේ කාර්යයි.

මහසෝනා :- මොහු මිනිසුන් බියගන්නා උණ කරවයි.

හූනියම් යකා :- ප්‍රධාන යකුන් පස්දෙනාගෙන් කෲර ම යකු මොහු ය.මොහු දවල් කාලයේ සූනියම් දේවතාව ලෙස සිටියි.රාත්‍රියේදී මිනිසුන් ලෙඩ කරයි.

අභිමාන යකා:-මොහු මිනිසුන්ගේ මනස ලෙඩ කරයි.මිනිසුන් බිය ගන්වයි.

රෝගයන් සුවපත් කිරීමේ අරමුණින් ශාන්තිකර්මයක් කිරීමේ දී මෙම ප්‍රධාන යකුන් තොවිල්පලට කැදවනු ලබයි.එහිදී මහඇදුරා එම යකාගේ ක්‍රියාවන් ආතුරයාට බලපාන ආකාරය විස්තරාත්මකව ඉදිරිපත් කරයි.මෙම යකුන් යාගපොලට පැමිණි පසු ඔවුනට අයත් දොලපිදේනි ආදිය පුද කිරීමෙන් අනතුරුව ආතුරයා අතහැර යා යුතු ය.

පාලිය වෙස්මුහුණු


ශාන්තිකර්මයේ දී සන්නි යකුන් ප්‍රථම දහඅට පාලිය පැමිණෙයි.මොවුන් වෙසමුණි රජුගේ අනුගාමිකයන් වන අතර ඔවුන් පැමිණෙන්නේ සන්නි යකුන් පැමිණීම ඉස්මතුවෙන් එම භුමිය පවිත්‍ර කිරීමට හා ඔවුන්ට අවශ්‍ය පිදවිලි සකසා තැබීමට ය.හාස්‍ය උපදවන මෙන්ම යක්ෂ ස්වරූපයක් ද දැක්වෙන අයුරින් වෙස්මුහුණු හා ඇදුම් පැළදුම් වලින් සැරසී පැමිණේ.ඉන්පසුව සන්නි යක්ෂයින් රඟමඩලට ගෙන්වා ඔවුනට නියමිත දොළපිදේනි ආදිය කැප කර දීම සිදුකිරීමෙන් පසු ආතුරයාගේ ලෙඩ දුක් ‚දෝෂ දුරුවන බවට විශ්වාස කෙරේ.එකකට එකක් වෙනස් වෙස්මුහුණු පැළඳ මෙහිදී රංගනයේ යෙදේ.පහත දැක්වෙන්නේ එම පාලි දහඅටයි.

            • දුන්න පාලිය        • පොල්මල් පාලිය          • දළුමුර පාලිය       • මුගුරු පාලිය

            •විලක්කු පාලිය     • කොළඅතු පාලිය          • මිනීහිස පාලිය      •වාලුගෙඩි පාලිය

            •තැඹිලි පාලිය       • පොත්කඩ පාලිය         • පන්දම් පාලිය      • තුවක්කු පාලිය

            • කළස් පාලිය       • අඟුරු දුම්මල පාලිය    • කුකුළු පාලිය

            •දුම් පාලිය             • සළු පාලිය                  •කෙණ්ඩි පාලිය 

රංගභූමිය ආලෝකවත් කරමින් ප්‍රථමයෙන් පැමිණෙන්නේ පන්දම්  පාලිය යි.සෙසු පාලිවලට පැමිණීමට දෙවිදේවතාවන්ගෙන් වරම් ලබා ගැනීම මෙම පාලියේ ප්‍රධාන කාර්යය යි.රංග භූමිය පිරිසිදු කිරීමේ අරමුණින් භාජනයක දුම්මල දමා දුම් අල්ලමින් පැමිණෙන මෙම පාලිය සෑම දිශාවකට ම කඩුව කරකවමින්  හා ගැසීමෙන් නර්තනයක් ඉදිරිපත් කරයි.එසේ කිරීම නිසා එම ස්ථානයේ දැනටත් පවතින්නා වූ සියලු දෝෂයන් දුරු  වී සෙත් ශාන්තිය ලබා දේ.දෙවියන් පිදීම සඳහා මැටි බඳුනක් පොල් මලක් තබාගෙන මීළගට පැමිණෙන්නේ කලස් පාලිය යි.මෙහිදී පැමිණෙන සෑම පාලියක් මයකුන්ට අවශ්‍ය පූජා භාණ්ඩ රැගෙන පිවිසේ.කුකුළු පාලිය පැමිණීමෙන් එය මනාව පැහැදිලි වේ.කෙන්ඩි පාලිය කෙණ්ඩියක් ද‚ සළු පාලිය සළුවක් ද ‚දළුමුර පාලිය බුලත් ද‚තැඹිලි පාලිය තැඹිලි ගෙඩියක් ද‚අතු පාලිය අතු ද, අතැතිව රඟමඩලට පැමිණේ.දුනු පාලිය දුන්නක් හා ඊයක් ද ,මුගුරු පාලිය මගුරක් ද ,රැගෙන යකුන්ගේ පැමිණීමට බාධාවන වෙනත් යකුන් පළවා හරී.මෙසේ පැමිණි සෑම පාලියක් ම  නොයෙක් විහිළු තහළු සමඟින් ප්‍රේක්ෂකයන් සිනහවට ලක් කරවමින් එමගින් ආතුරයාගේ හිස පිරිසිදු කර ඔහුට සුවයක් ලබා දේ.මෙසේ දහඅට පාලිය පැමිණීමෙන් පසුව එම ස්ථානය ආරක්ශා සහිතවත් ,පිරිසිදුවත් තිබෙනු දුටු සන්නි යක්ෂයෝ ඔවුන්ට අවශ්‍ය පුද පූජා දැක එම ස්ථානයට පැමිණෙති.  

සන්නි වෙස්මුහුණු

 

ලංකාවේ පහතරට ප්‍රදේශවල ප්‍රසිද්ධව පැවති එනම් පහතරට නර්තන සම්ප්‍රදායට අයත් ශාන්තිකර්මයක් ලෙස දහ අට සන්නිය දැක්විය හැක.මෙය සිදු කරන්නේද අදෘශ්‍යමාන බලවේගවලින් මිනිසුන්ට සිදුවන ලෙඩ දුක් කරදර දුරු කිරීම සඳහා ය.ලංකාවේ ප්‍රකට දේවාල ආශ්‍රිතව දහ අට සන්නිය රඟ දැක්වේ.මේ ශාන්ති කර්මය සඳහා ආතුරයාගේම නිවස ඉදිරිපිට ඉඩකඩ සහිත භූමියක් යොදා ගනු ලබන අතර‚මඩුවක් පිළියෙල කරන්නේ නැත.

දහඅට සන්නිය යනු වමනය ඇති  වන ආමාශගත රෝග‚භූත බැල්මෙන් ඇති වූ මානසික රෝග‚භූත බැල්මෙන් ඇත් වූ උන්මාදය‚බිහිරි බව‚වසංගත රෝග මැලේරියාව වැනි උණ ඇති කරන රෝග,නපුරු සිහින පෙනීම,තාවකාලික උන්මාදය,පිත්තාශය ආශ්‍රිත රෝග,සෙම හා අපස්මාරය ආදී විවිධ ලෙඩ රෝග වලින් වැලකීමට ගම් වලට සෙත ශාන්තිය පතා කෙරෙන ශාන්තිකර්මයකි.දහඅට සන්නිය නැටීමට යොදා ගන්නා මේ වෙස් මුහුණු වලින් එකක් තේරුම නොදැන ඔබේ නිවසේත් අලංකාරයට තියා තියෙනවද කියලා බලන්න. 

සන්නි ආරම්භයේ පටන්ම යාග ඇදුරන්ට අවශ්‍ය දේ සම්පාදනය කරමින්‚සියලු ආවතේව කටයුතු සිදු කරන්නා ‘කොට්ටෝරුවා’යනුවෙන් හඳුන්වයි.ප්‍රථමයෙන් ම මෙහිදී සිදු වන්නේ දහ අට සන්නියේ විචිත්‍රම අංගයක් වන සැන්දෑ සමය යි.මෙහිදී නැට්ටුවන්‚නළුවන් විසින් විවිධ රංගන රඟ දක්වයි.යක් නැටුම‚හූනියම් යක්ෂ නැටුම ,රීරියක් නැටුම ආදී යක් නැටුම් රඟ දැක්වීම ද සිදුවන අතර ,රංග භූමිය භයානක ස්වරූපයක් ගනී.ඒ ඒ යකුන් නියෝජනය වන යක්ෂ වෙස්මුහුණු පැළඳ සියලු රැඟුම් සිදුකරයි.එසේ ම මෙහිදී සියලු යකුන් සඳහා දහඅට පාලිය නැටීම සිදුකරයි.ඉන් අනතුරුව ආතුරයාට රංග භුමිය,නිරාවරණය කිරීම සිදු කරයි.එය ‘කඩ තිර ඇරීම්’ ලෙස හදුන්වයි.රෝගියා සුදු පිරුවට ඇඳ සුදුරෙදි කඩකින් සිරුර වසා හිඳ සිටියි.දහඅට සන්නිය යනු සන්න් රෝග දහඅටක් වන අතර,යක්ෂයන් දහඅටක් එම රෝග වෙනුවෙන් රැගුම් දැක්වීම සිදුකරයි.සන්නි දහඅට පහත පරිදි දැක්විය හැකි ය.

භූත සන්නිය

තාවකාලිකව උමතුව,සිහිනැතිවීම ,ඇස් අදුරු වී පිත් වමනය වීම මෙහි රෝග ලක්ෂණයි.භූත බලවේග මුල්කොට හැදෙන රෝග පීඩාදිය මෙයට හේතු වේ.කතාබහ කිරීම,හැසිරීම අද්භූත ස්වරූපයක් වේ.

කෝල සන්නිය 

සන්නි යකුමේ ප්‍රධාන තැනක් ගන්නේ කෝල සන්නිය යි.සන්නි යකුන් දහුට දෙනාගෙන් නායකයා වන්නේ කෝල සන්නියයි.රංගභූමියේ අවසානයට පිවිසෙන්නේ මෙයයි.හිසේ ගොක්කොළවල්න් සූදු කිරුළකි.එහි නයිපෙන පහක් ඇත.මුහුණ කළු ය.දිගු දත් දෙකක් ඇත.බිය උපදවන සුළු ය.උඩුකයට කළු ලොම් හැට්ටයක් ඇද සිටියි.

දේව සන්නිය 

සරම්ප,කම්මුල්ගාය,වසූරිය,පාචනය,උණ සන්නිපාතය,කොළරාව සාදවයි.මේ සන්නි යකාගේ වෙස් මුහුණෙහි හිසට කිරුළක් ඇත.මුහුණ රන්වන් පාටය.බියක් ඇති කරවයි.අසාධ්‍ය රෝගී තත්ත්වයකි.මේ සන්නි යකු දේවත්වයක් ආරූඪ කරගත් බවක් පෙනේ.

ගොළු සන්නිය 

තාවකාලික ගොළුභාවය ඇති කරයි.අභිනවයෙන් කෙරෙන රංග වැඩිය.කතාව ගොළු කරන රෝගය මේ සන්නි යකාගේ බැල්ම නිසා ඇති කරන බවට විශ්වාස කෙරේ.

අභූත සන්නිය 

කම්මුල් ඉදිමීම ,සෙම්ගෙඩි,හන්දිපත් රුදාව මේ සන්නියේ ලක්ෂණයි.ගුවනේ සිට මිනිසුන්ට ලෙඩකරනා මේ යකා ඉතා බිහිසුණු ය.වානරයකුගේ හැඩැති වෙස්මුහුණ අද්භූත ගතියකින් යුක්ත ය.

අමුක්කු සන්නිය

විකාර වූ වෙස්මුහුණක් පළදින අතර එය එක අතකට ඇද වී ඇත.මෙයින් අංශභාගය රෝගය නිරූපණය වේ.එනම් මුහුණකට ඇදවී ,කතාව ගොළු වී,කටින් සෙම වැගිරෙන ස්වරූපයක් මේ සන්නි යකා රඟ දක්වයි.

වෙඩි සන්නිය

භයානක අවි ආයුධවලින් ඇති වූ ලෙඩ මේ යකාගෙන් නිරූපණය වේ.රංග භූමියට පැමිණෙන්නේ ද ඇතැම්විට තුවක්කුවක් අරගෙන ය.මෙය හාස්‍ය උපදවන සුළු ය.

වාත සන්නිය

වා,පිත්,සෙම් යන තිදොස් මේ සන්නියට හේතු වේ.අලස රංගනයක යෙදෙන මේ යකුගේ වෙස්මුහුණ භයානක නොවේ.

බිහිරි සන්නිය

මෙම වෙස්මුහුණෙන් නිරූපණය කරන්නේ තාවකාලික බිහිරි බවයි.මෙම වෙස්මුහුණේ අඩක් නයකුගෙන් වැසී පවතින්නේ නාගයා බිහිරි සතකු ලෙස පිළිගනිමිනි.බිහිරි නිසා මෙි සන්නි යකා සමඟ සංවාද අවස්ථා ‌ෙඉහෙවින් විකට දන්වන සුළු ය.වෙස්මුහුණේ මුව වැසී ඇත.

කණ සන්නිය

ඇස් අන්ධ වූ මේ සන්නි යකා සැරයටියක් ගෙන රඟමඩලට පිවිසෙන අතර ඉතා බිය ජනක වෙස්මුහුණක් පැළඳ සිටියි.හාස්‍ය රසය ද මතු කරයි.

පිස්සු සන්නිය

උන්මන්තක බව මෙම සන්නියෙන් නිරූපණය වේ.තනිව කතා කරමින්,සිනහ වෙමින් ,විකාර කතා කියමින් රංග භූමියට පිවිස විකට රංගනයක් ඉදිරිපත් කරයි.මෙම වෙස්මුහුණේ ඇස් විශාල ය.

මූර්තු සන්නිය

කෑම අරුචිය,ඇගපත වේදනාව,උණ මේ සන්න් යකුගෙන් සුව කෙරේ.වෙස්මුහුණෙහි ඇස් දිගටි ය.රෝගි බව මනාව පෙන්නුම් කෙරේ.

දෙමළ සන්නිය

සිහිය අඩු බව,වියරුව,විකාර වදන් දෙඩවීම මෙහි ලක්ෂණ වේ.

නාග සන්නිය

මෙම යක්ෂයාගේ ද දිෂ්ඨි හෙලීමෙන් හා නාග විසක් හා සමාන විෂක් ශරීරයේ ඇති කිරීමට ද ,බිබිලි දැමීම ද සිදුකරයි.නළල මත නාගයකුගේ රූපයක් ඇත.

ගුල්ම සන්නිය

උදරාශ්‍රිත ගෙඩි හට ගැනීම,කෑම අරුචිය,අතීසාරය,ශරීරය දුර්වල වීම ආදිය මෙි සන්නියේ ලක්ෂණ වේ.හැඩපළු කොණ්ඩයක් ඇත.

කොර සන්නිය

වෙස්මුහුණේ ඇස් රවුම් ය.මුහුණ ඇද වී ඇත.දෙතොල රතු ය.නමුත් රෞද්‍ර විලාශයක් නැත.එක් අතකින් මුගුරක් ද අනෙක් අතින් කොළ අතු ද රැගෙන එයි.

ගිනි සන්නිය

ඇඟපත වෙව්ලීම,කෑම බීම අරුචිය,උණ,දෙඩවීම මෙහි ලක්ෂණ ය.විකෘති වෙස්මුහුණක් සහිත ය.මුඛය විශාලය.දත් දිගය.පන්දමක් ද රැගෙන රගමඩලට පැමිණෙයි.

ජල සන්නිය

දැරිය නොහැක් සීතල සහ වෙව්ලීම ඇති කරයි.දත කට පූට්ටු වී ඇති ආකාරයක් වෙස්මුහුණේ දිස් වේ.


මෙි ආකාරයට වෙස්මුහුණු පිළිබඳව විස්තර කළ හැකියි.නමුත් තව විස්තර බෙහොමයක් වෙස්මුහුණු  පිළිබඳව තිබෙනවා.තවත් දවසක ඒ පිළිබඳව අපි සාකච්ඡා කරමු.


-ශෂිනි දිල්හාරා-














Thappad

 කම්මුල් පහරක් නිසා දීගයක් දික්කසාදයක් දක්වා ගිය දුරක්..🤔🤔 Thappad"  එසෙත් නැත්තම් "කම්මුල් පහර" වසරෙ දුටු තවත් එක කාන්තාව ...